ආණ්ඩුවේ වර්ගවාදී ආදාහනය නවතනු! විද්‍යාත්මක භූමදානයට ඉඩදෙනු! – ජවිපෙ

December 23, 2020 at 8:06 am | by emanisa.lk

ඉස්ලාම් ආගම අදහන පුරවැසියන් කොවිඞ් වසංගතයෙන් මියයාමෙන් ඒ සිරුරු ආදාහනය කිරීම ගැන කම්පනයකට පත්වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

ඊයේ (22) මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“පසුගියදා දින 20ක දිළිඳු දරුවෙක් ආදාහනය කිරීමත් සමග මේ තත්වය උච්ඡස්ථානයකට පත්වෙලා. අද වෙනකොට මේ සංවාදයේ පැති දෙකක් තියෙනවා. තාක්‍ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයක් එක පැත්තක. දේශපාලන ප්‍රවේශය අනික් පැත්තේ. මෙවැනි සංවේදී ගැටලුවකට නිවැරදි ප්‍රවේශය වන්නේ විද්‍යාත්මක, තාක්‍ෂණික සෞඛ්‍යමය ප්‍රවේශයයි.

නමුත් ආණ්ඩුව බලය ලබාගැනීම වෙනුවෙන් වපුරන ලද උන්මත්තක ජාතිවාදී ප්‍රවේශය හේතුකොටගෙන මේ වෙනකොට විද්‍යාත්මක තාක්‍ෂණික ප්‍රවේශයට වඩා දේශපාලනික ප්‍රවේශයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ සිරුරු සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ දේශපාලන ව්‍යාපාරයක් හෝ දේශපාලනඥයකු නොවේ. අවුරුද්දකට ආසන්න කාලයක් ලංකාව තුළ මේ වෛරසය ගැන අධ්‍යයනය කර තිබෙනවා. ඒ අනුව විද්‍යාත්මක තොරතුරු තිබෙනවා.

ලෝකයම පිළිගත් වෛරස් විද්‍යාඥ මලික් පීරිස් භූමදානයෙන් මෙය පැතිරීම පිළිබඳව ඉතාමත් විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටිය වසංගත රෝග පිළිබඳව ප්‍රධානම විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ නිහාල් අබේසිංහ මේ ගැන මත ඉදිරිපත් කර තිබුණා. භූමදානය හරහා මෙම වෛරසය පැතිරීම සම්බන්ධයෙන් බල නොපාන බව විද්‍යාත්මකව පැහැදිලි කර තිබුණා. ඔවුන් දෙදෙනාගේම මත ප්‍රමාණවත් නැත්නම් ආණ්ඩුවට තවත් ඒ ගැන මත විමසිය හැකියි. හැබැයි මේ තුළත් දේශපාලනය සිදුකරන ආණ්ඩුව ජන කොට්ඨාසයකට සංවේදීව බලපාන ප්‍රශ්න පවා යොදාගෙන තිබෙනවා. මේ දේශපාලන කෝණයෙන් මැනීම ආණ්ඩුව අත්හැරිය යුතුයි. ආදාහනයද භූමදානයද  කියන දේ තමන්ගේ දේශපාලන පොර පිටියේ එහෙට මෙහෙට දාන පන්දුවක් බවට පත්කර නොගත යුතුයි. වියළි භූමියක් සොයාගෙන භූමදානය කිරීම, මාලදිවයිනට ගෙනිහිල්ලා භූමදානය කිරීම වගේ කරුණු ගැන ප්‍රවෘත්ති පළ වෙනවා. ලෝකයම පිළිගන්නා ලද වෛරස් විශේෂඥයින්ගේ කරුණු ඉදිරිපත් කිරීම් අනුව ආණ්ඩුවක් ක්‍රියාකළ යුතුයි. දේශපාලනය පිළිබඳ ආණ්ඩුවේ ප්‍රවේශය වහාම අත්හළ යුතුයි. තාක්‍ෂණික, විද්‍යාත්මක, සෞඛ්‍යමය ප්‍රවේශයෙන් උත්තර ලබාදිය යුතුයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ජනාධිපතිවරයාගේ සමීතමයෙක් හැටියට ක්‍රියා කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මේ ප්‍රශ්නය කවර අන්තයකින් කෙළවර විය හැකිද කියන අනතුරක් තිබෙන බවයි. ඒ නිසා මේ ප්‍රශ්නයට විද්‍යාත්මක පිළිතුරු වහාම ලබාදිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස