දෙමළ සන්ධානය 2015 කොන්දේසි විරහිතව හංසයාට සහය දෙනවා කීවා! නමුත් ඡන්දයට පසුදා ඉඳලා දුන් පොරොන්දු ඉටු කරනු කියලා හඬ නැඟුවා! මේ පාරත් එහෙම තමයි! – ගම්මන්පිල

November 6, 2019 at 7:48 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට දරුවන් නැතැයි පැවසීම බොරුවක් වන අතර සජිත් ප්‍රේමදාස ඔහුගේ පුතාණෝ බවත් බලය උදෙසා රට පාවා දීමේ වැඩපිළිවෙළ රනිල් නතර කළ තැන සිට සජිත් ඉදිරියටම ගෙන යන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

2015 කොන්දේසි විරහිතව හංසයාට සහය ලබා දෙන බව ප්‍රකාශ කළ දෙමළ සන්ධානය ඡන්දයට පසුදා සිටම ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස හඬ නැඟූ බවත් මෙවර ද සිදුව ඇත්තේ එයම බවත් හෙතෙම අවධාරණය කරයි.

ඊයේ (05) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා ඒවා පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දෙන බව කිව්වා. ගෝඨාභය මැතිතුමා ඉල්ලීම් 13 සාකච්ඡාවටවත් නොගෙන ප්‍රතික්ෂේප කළා. සජිත් මැතිතුමා කරවල කූරියා ගිල්ල හොර පූසා වගේ සද්ද නැතුව හිටියා. ඒ කියන්නේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක්වත් ප්‍රසිද්ධියේ ඉල්ලීම් පිළිගත්තේ නෑ. එහෙම නම් දෙමළ සන්ධානය සජිත්ට සහය දීමට තීරණය කිරීමේ හොරේ මොකද්ද?

ඇත්ත කතාව තමයි සජිත් පසුගිය මාසයේ උදාගමක් විවෘත කිරීමට යාපනේ ගිය අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය හමු වෙලා මේ ඉල්ලීම් 13ට එකඟ වුණා. නමුත් සිංහල ඡන්ද නැති වේවි කියන බයට අන්තිම මොහොත වන තුරු මේක රහසක් විධියට තියා ගන්න දෙපාර්ශවයම එකඟ වුණා.

දෙමළ සන්ධානය නම් කියන්නේ කොන්දේසි විරහිතව සජිත්ට සහය දෙනවා කියලා. 2015 දීත් එජාප අපේක්ෂකයාට සහය දුන්නේ කොන්දේසි විරහිතව කියලායි රටට කිව්වේ. නමුත් ඡන්දය දිනූ දවසේ සිටම “දුන් පොරොන්දු ඉටු කරනු” කියා සම්බන්ධන්, සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ජාත්‍යන්තර කරළියේත් කියා සිටියා. කොන්දේසි විරහිතව සහය දෙනවා නම් දුන් පොරොන්දු ඉටු කරනු කියන එකේ තේරුම මොකද්ද? ඉන් කියැවෙන්නේ රහසිගත එකඟතාවක් තිබුණු බවයි. 2019 දීත් කොන්දේසි විරහිතව සහයෝගය දෙන බව කිව්වත් රහසිගතව එකඟතාවක් ඇතිවී තිබෙනවා. ඒ් නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා කොන්දේසි 13ටම එකඟ වුණා ද නැතිනම් එකඟ වුණු කොන්දේසි මොනවා ද කියන එක දෙමළ සන්ධානයත් ප්‍රේමදාස මැතිතුමාත් රටට පැවසිය යුතුයි.

රටේ මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දරුවෝ නැහැ කියලා. ඒක පට්ටපල් බොරුවක්. සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුජාත පුත්‍රයා. කපාපු පලුව. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලය සඳහා රට පාවා දීමේ ක්‍රියාදාමය නතර කරපු තැන ඉඳන් සජිත් ප්‍රේමදාස මැතිතුමා හරිම අපූරුවට ඉදිරියට ගෙන යනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමා මා විශ්වාස කරන හැටියට නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේවත් තවත් සමහරු කියන විදිහට ප්‍රෙඩී සිල්වාගේවත් පුතා නොවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අඩි පාරේ ගමන් කරන ඔහුගේම කපාපු පලුවක් බව සියයට සියයක්ම විශ්වාසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස