තරඟ පාවදීම් ගැන පරීක්ෂණ කරන්න පොලිසියට බෑ! පාවදීමිවලට ක්‍රීඩකයන් සම්බන්ධ නෑ කියලා මම පැහැදිලිවම කීවා! පොලිසිය වැරදි විදිහට පරීක්ෂණයක් කරල රටම නොමග යැව්වා! – මහින්දානන්ද

July 4, 2020 at 7:10 am | by emanisa.lk

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මා විසින් සිදු කළ පැමිණිල්ල අනුව සිදු කළ විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ෂණ කටයුතු නතර කල බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් තමන් ඉල්ලිමක් කරන බව පැමිණිල්ල සිදු කල හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

අද (03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

“මා විසින්  2011 ලෝක කුසලානය පිළිබඳව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කළා.මේ පිළිබඳව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට්ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කළා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ ප්‍රධානියා විසින්  හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිළිබඳව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියලුම තොරතුරු ලබා දුන්නා.

මේකට ක්‍රීඩකයින් සම්බන්ධ නැහැ කියලා මම පැහැදිලිව කිව්වා. මම දන්නේ නැහැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳ වුයේ කුමන පදනමකින්ද කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ෂන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ  කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.

කුමාර සංගක්කාර මහතාගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැඳිලා නැහැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට්පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා. එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කළේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ ඒකකයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතළකම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිළිබඳව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කළා. පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දාලා තියෙනවා.

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍? 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන.

අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න හදනවා.” හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස