අපි හාමුදුරුවෝ රණවිරුවෝ ගැන පරීක්ෂණ කළාට ආණ්ඩුව ක්‍රිකට් විරුවන් ප්‍රශ්න කිරීම වැරදියි! – නවීන්

July 3, 2020 at 8:48 am | by emanisa.lk

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර සහ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කීර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රීඩකයන්ගෙන් විමර්ශනයක් සඳහා ප්‍රකාශ ලබාගැනීම තමන් අනුමත නොකරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක ඊයේ (02) පැවසීය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මෙසේ කියා සිටියේය.

“කුමාර සංගක්කාර මහතාව ප්‍රකාශ ලබාගැනීම සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරනවා. රටට කිර්තියක් ගෙනාපු ක්‍රීඩකයන් සියල්ල ගෙනල්ලා ප්‍රශ්න කරනවා. හැබැයි චෝදනාව කරපු කෙනාව ගෙන්නේ නැහැ. එයාගේ ගෙදරට යනවා ප්‍රකාශයක් ලබා ගන්න.

මේක පරස්පර විරෝධී ක්‍රියාමාර්ගයක් හැටියට මම දකිනවා. ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් මේක. ආණ්ඩුවේ කට්ටි දෙකක් ඉන්නවා, එක කට්ටියක් වැඩ කරන අය, නාමල් රාජපක්ෂ මහතාත් කියනවා මේක හොඳ නැහැ කියලා, එහෙනම් අගමැතිතුමාට කතා කරලා මෙවැනි දේවල් නතර කරන්න ඕනි.

ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න සෘජු තීරණ ගන්න ඕනි. ක්‍රිකට් ක්‍රීඩයන්ට මේ අයුරින් හිරිහැර කරනවා නම් ඔවුන් තවත් පහතට වැටෙනවා. අවුරුදු නවයකට පස්සේ මේ චෝදනාව කරනවා, ඇයි මැතිවරණ සමයේ මේක ඉදිරිපත් කරන්නේ? මේවට නිසියාකාරව පරික්ෂණ කරලා නීතිමය පියවර ගන්න ඕනි.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යනවා. අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. අපි කවදාවත් රාජපක්ෂ කඳවුරට එක්වෙන්නේ නැහැ. ශක්තිමත් විපක්ෂයක් හදලා ඉදිරියේදි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා. ආණ්ඩුව බහුතරයක් ගන්න උත්සහ කරනවා, අපි ආණ්ඩුවේ ක්‍රියාදාමයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ජනතාව අතර විවිධ මත යවන්න උත්සහ කරනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවක් හදන්න එයාලා කැමති කියලා. ආණ්ඩු හදන්න කවුද අකමැති? හැමෝම කැමතියි. එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයට ඡන්දය දීලා පක්ෂය ආරක්ෂා කර ගන්නවා. අපි කිසිවිටකත් රාජපක්ෂලා සමග එකතු වෙන්නේ නැහැ.”

කෙසේ වුවද පසුගිය යහපාලන ආණ්ඩු සමයේ භික්ෂූන් වහන්සේලා මෙන්ම රණවිරුවන් ද විශාල පිරිසක් ප්‍රශ්න කිරීම් සහ සිරගත කිරීම්වලට ගොදුරු විය. එකල ආණ්ඩුව ප්‍රකාශ කළේ වරදක් කර නැත්නම් පරීක්ෂණවලට බිය විය යුතු නැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස