කොරෝනා රෝගීන් මහ පාරේ මැරෙන බවට බොරු කී ජවිපෙ සාමාජිකයා ඇතුළු පිරිස අත්අඩංගුවට!

November 18, 2020 at 7:45 am | by emanisa.lk

ලංකාවේ මහා මාර්ගවල කොවිඩ් රෝගීන් මිය යන බවට සමාජජාලා ඔස්සේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කඩුගන්නාවේ දී හා හන්තානේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයා කළුතර පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත.

මෙලෙස අසත්‍ය පුවත් නිර්මාණය කර ප්‍රචාරය කිරීම සංවිධානාත්මක පිරිසක් විසින් කර ඇති බවත්, ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ සිටින දෙදෙනකු මෙයට සම්බන්ධවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

රට පුරා යාචකයන් ඇතුළු පුද්ගලයන් කොවිඩ් හේතුවෙන් මහ මග මියගොස් ඇතැයි මෙම කණ්ඩායම් ප්‍රචාරය කර තිබුණ ද ඒ ඇසුරෙන් මියගොස් තිබුණේ කොල්ලුපිටියේ යාචකයකු පමණක් බව විමර්ශනවලදී හෙළි වී තිබේ.

ජපානයේ හා ඕස්ට්‍රේලියාවේ සිට එසේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය දෙදෙනා ගැන ජාත්‍යන්තර පොලිසියේ සහාය මත විමර්ශන ඇරඹීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස