ආගම වෙනුවෙන් මැරෙන්න සූදානම් වෙන්න…! සහරාන් පාසල් සිසුන්ට කියල….. සිසුවෙක් පාසලේ සිංහලෙන් කතා කළැයි පෝර උරයක දමා එල්ල පහර දීලා….

June 20, 2020 at 9:45 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායමට නායකත්වය දුන් සහරාන් මොහොමඩ් හසිම් මුස්ලිම් පාසල්වලට ගොස් ආගම වෙනුවෙන් ජීවිත පූජා කළ යුතු බවට දේශන පවත්වා ඇතැයි අනාවරණය වී තිබේ.

සහරාන් 2019 ජනවාරි මාසයේ දිනක පුත්තලම අල් සුහරියා මද්‍රසා පාසලට ගොස් දේශනයක් පවත්වමින් ඔහු පවසන ලෙස කටයුතු කළහොත් එහි ඉගෙනුම ලබන සිසුන්ගේ පවුල්වලට උදව් උපකාර කරන බවත් ආගම වෙනුවෙන් ජීවිතය පූජා කිරීම හෝ සිදුකළ යුතු බවත් පවසා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේ ඊයේ (19) පැවසීය.

සිය ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටදැයි එහිදී සිසුන්ගෙන් විමසා ඇති බවත් සටන් කිරීමට කැමති බව පැවසූ සිසුන්ව රඳවාගෙන සෙසු පිරිස බැහැරට යවා වැඩිදුර දේශන පවත්වා ඇති බවටත් සිසුන් පිරිසක් ලබාදුන් ප‍්‍රකාශ අනුව හෙළි වී ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට කීවේය.

පසු දිනක හෙලිකොප්ටරයකින් එම විදුහලට පැමිණ ඇති ඊශා හාජ්ජියාර් නමැති අය ඇතුළු අරාබි ජාතිකයන් සිවුදෙනකු සිසුන් සියලූ දෙනාට රුපියල් 3000 බැගින් ලබාදී එහි විදුහල්පතිවරයාට අරාබි මුදල් තොගයක් ලබා දී ඇති බවට ද හෙළි වී ඇතැයි අධිකරණයට පැවසීය.

එම පාසලේදී සිංහල භාෂාවෙන් කතා කිරීම තහනම් වූ බවත්, එසේ සිංහල භාෂාවෙන් කතා කළහොත් පහර දෙන බවටත් සිසුන් ලබාදුන් ප‍්‍රකාශ අනුව පැහැදිලි වන්නේ යැයි සිය විමර්ශන වාර්තාව මගින් පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රිකාස් මවුලවිවරයා විසින් එවැනි වරදක් කළ තමා පොහොර බෑගයකට දමා ගසක එල්ලා පහර දුන් බව එක් සිසුවකු ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද අධිකරණයට සිය විමර්ශන වාර්තාව මගින් දැන්වීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාගේ සොහොයුරකු වන මොහොමඩ් රිල්වාන් යන අය ගිනි අවියක් සහ බෝම්බයක් ගෙනවිත් එහි කොටස් ගලවා පෙන්වූ බවත්, එහි ඇති දේවස්ථානයේ පහළ තැන වළවල් හාරා හමුදා පුහුණුවක් වැනි පුහුණුවක් ඔවුනට ලබාදුන් බවටත් එකී සිසුන් ප‍්‍රකාශ ලබා දී ඇතැයි ද එහිදී අධිකරණයට පැවසීය.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වන සහරාන් නමැත්තාට අමතරව ඉල්හාම් මොහොමඩ් මොහොමඩ් ඉබ‍්‍රාහිම්, මොහොමඩ් ජිෆ්රි පාතිමා, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් ඇතුළු පිරිසක් එම විදුහලට පැමිණ වැඩමුළු දේශන හා පුහුණු වැඩසටහන් පවත්වා ඇති බව ද විමර්ශන නිලධාරිහු එහිදී අධිකරණයට පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස