අපි කළ ශාසනික මෙහෙවර වර්තමාන ආණ්ඩුවට ඉදිරියට ගෙනයන්න ලැබේවා! – කිරිඇල්ල

February 24, 2020 at 8:54 am | by emanisa.lk

බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම සෑම රජයකම වගකීම බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේම සඳහන්ව ඇති බවත් පාර්ලමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ වසර 95 ක් පුරා පැවැත්වෙන පොසොන් පෙරහැරට අදාළ කෞතුක දෑ තැන්පත් කිිිරීම සඳහා ඉදි කරනු ලැබූ නව කෞතුකාගාරය ඊයෙ (23) පෙරවරුවේ විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව පැවසීය.

“බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා ප්‍රතිපත්ති පූජාව වගේම ආමිස පූජාවත් වැදගත් කියලා. වෙහෙර විහාර ශාසනයේ දියුණුවට පෝෂණයට වැදගත්.

අපි අසල්වැසි ඉන්දියාව ගත්තොත්  අශෝක රජ තුමාගේ කාලයේ වෙහෙර විහාර 84,000 ක් හැදුවා.  මුළු ඉන්දියාවම බෞද්ධ රාජ්‍යයක් හැටියට ප්‍රසිද්ධ වුණා.  නමුත් අද ඉන්දියාවේ  බෞද්ධයන් සියයට එකක්වත් නෑ.

ඒකට හේතුව තමයි උතුරු ඉන්දියාවෙන් ආව මෝගල්  ආක්‍රමණ නිසා විහාරස්ථාන සියල්ල විනාශ කළා. භික්ෂූන් වහන්සේලාට නේවාසිකව ඉන්න ස්ථානයක් නැති වුණා. භික්ෂූන් වහන්සේලා නැති වීමෙන් ශාසනය පරිහානියට පත් වුණා. නමුත් අපේ රටේ අපි සතුටු වෙන්න ඕන.

1505 ඉඳලා අවුරුදු 400 ක් යුරෝපීය ජාතින් තුනක් පාලනය කළා. පෘතුගීසින් ලන්දේසීන් සහ ඉංග්‍රීසින්. එහෙම රට පාලනය කරලත් අපේ රටේ ශාසනය විනාශ කරන්න බැරි වුණා.

ශාසනය විනාශ කරන්න බැරි වුණේ අපේ භික්ෂූන් වහන්සේලාගේ ධෛර්යය නිසා. යුරෝපීය පාලකයන් අවුරුදු 400 ක් මේ රට පාලනය කරලත් අපේ රටේ ශාසනය  ආරක්ෂා කර ගන්න පුළුවන් වුණා.

කවුරු බලයට පත් වුනත් හැම ආණ්ඩුවකම  වගකීමක් යුතුකමක් තියෙනවා  බුද්ධ ශාසනය පෝෂණය කරන්න.  අපේ රටේ ව්‍යවස්ථාවේත් ඒක සඳහන් වෙලා තියෙනවා.

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා සඳහන්  වෙනවා. මම සතුටු වෙනවා පසුගිය රජයේ උඩරට උරුමය අමාත්‍යවරයා ලෙස මට වාසනාව ලැබුණා මේ දිස්ත්‍රික්කයේ හැම පන්සලකටම වාගේ උදව් කරන්න.

එහෙමත් පන්සලක් තමයි අත් ඇරුනේ. මහාමාර්ග ඇමතිවරයා හැටියටත් උඩරට උරුමය පිළිබඳ ඇමතිවරයා හැටියටත්  මම මිලියන 1000 ක් විහාරස්ථානවලට ලබා දුන්නා.

මෙහෙම මුදලක් ලැබීම මහනුවර දිස්ත්‍රික් ඉතිහාසයේම සිද්ධ වෙලා නෑ. ඒ වගේම අපේ හිටපු අගමැතිතුමත් හැම පන්සලකටම වාගේ උදව් කරල තියෙනවා.

දැන් නව රජයක් බලයට පත් වුණා. අපි ප්‍රාර්ථනා කරනවා අපි කරපු ශාසනික වැඩකටයුතු  ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස