මංගල දෙරණේ ඇඩ් තහනම් කරද්දී, සාගල දිලිත් අරලියමැදුරට කැඳවා පාටියක් දාලා! – වියරු වැටුණු මංගලගෙන් සාගලට ප්‍රහාරයක්…

June 12, 2019 at 10:55 pm | by emanisa.lk

ඇමති සාගල රත්නායකගේ දේශපාලන දිවියට විසි වසරක් සැපිරීම නිමිත්තෙන් පසුගිය 10 වෙනිදා අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ සාදයක් සංවිධානය කර තිබිණි. අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාදය සඳහා ඇමති සමීපතම මිතුරන් ඇතුළු සීමිත පිරිසකට ඇරයුම් ලැබී තිබිණි.

කෙසේ වුවද අගමැති රනිල්ගේ සමීපතම මිතුරකු වන ඇමති සාගලගේ සාදයට දෙරණ මාධ්‍ය ජාල ප්‍රධානී දිලිත් ජයවීරට ඇරයුම් කිරීම ඇමති මංගල සමරවීරගේ දැඩි නොසතුටට හේතු වී ඇති බව ඔහු සිය වෙබ් අඩවි යොදා ගෙන එය ක්‍රියාව දැඩි ලෙස විවේචනයට ලක් කිරීමෙන් තහවුරු වෙයි.

වත්මන් එජාප දේශපාලන ප්‍රබලයකු වන තමාට පවා ඇරයුම් නොකළ අගමැති රනිල් ඇතුළු ඉතාම සීමිත පිරිසක් සහභාගී වූ සාදයක දෙරණ ප්‍රධානියා අනිවාර්ය ආරාධිතයකු වීම ඇමති මංගලගේ නොසතුටට හේතු වීම අහේතුක නැත. ඒ නිසාම දෝ මෙම සාදය සංවිධානය කළ අගමැති කාර්යාලයේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු භාර ඉෂිණි වික්‍රමසිංහ දැඩි ලෙස විවේචනය කිරීමට ඇමති මංගලගේ වෙබ් අඩවි කටයුතු කර තිබිණි.

දෙරණ සහ හිරු මාධ්‍ය ආයතන ආණ්ඩු විරෝධී ජාතිවාදී මතවාද ව්‍යාප්ත කරන්නේ යැයි චෝදනා කරමින් මංගල සමරවීර සිය අමාත්‍යංශයේ දැන්වීම් එම ආයතනවලට ලබා නොදෙන අතර ඇමති සාගල විසින් දෙරණ ප්‍රධානියා අගමැති මැදුරටම කැඳවා සාද පැවැත්වීම එක අතකින් ඇමති මංගලගේ කනට ගැසීමට නොදෙවෙනි වැඩකි.

අනෙක් අතට පසුගිය දිනවල බුදු දහම, භික්ෂූන් වහන්සේ, ශ්‍රී ලංකා සංස්කෘතිය පිළිබඳ මංගල සමරවීර සිදු කළ ප්‍රකාශ පක්ෂ භේදයකින් තොරව ජනතාව අතර මහත් අප්‍රසාදයට ලක්ව ඇති පසුබිමක මෙම සිදුවීම එජාප පාක්ෂිකයා අතර ඇමති මංගල තවත් හෑල්ලුවට ලක්වීමට හේතුවකි. ඇමති මංගල පක්ෂය තුළ සහ පාක්ෂිකයන් අතර මේ ආකාරයට හෑල්ලුවට ලක්වීම ඔහුගේ අනාගත දේශපාලන ජීවිතයට කොහෙත්ම සුභවාදී වන්නේ නැත.

වර්තමාන යහපාලන ආණ්ඩුව සිය ජනප්‍රියත්වයේ උපරිම තලයේ පැවති 2015 අගෝස්තු මහ මැතිවරණයේ දී මාතරින් එජාපයට ලැබුණේ ආසන තුනකි. එහිදී වැඩිම මනාපලාභියා බුද්ධික පතිරණ වූ අතර දෙවැන්නා මංගල ද තෙවැන්නා සාගල ද විය. එහෙත් එළඹෙන මහ මැතිවරණයේ දී එජාපයට මාතරින් බොහෝ විට හිමි වනු ඇත්තේ ආසන දෙකකි.

බහුතර බෞද්ධයන් ජීවත් වන මාතර ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා එළඹෙන මැතිවරණයක දී මංගල පරාජය කිරීම වෙනුවෙන් පෙළ ගැසෙන බවට සපථ කර ඇති පසුබිමක බුද්ධික පතිරණට සහ සාගල රත්නායකට එය වෙස් වළාගත් ආශීර්වාදයක් වනු ඇති අතර මංගලට තරඟ කළහොත් පරාජය අනිවාර්ය වනු නියතය.

එවැනි තත්ත්වයක් තුළ අරලියගහ මන්දිරයේ පැවති සාදයක් පදනම් කරගෙන හෝ ඇමති සාගලගේ ඡන්ද පදනම දියකර හැරීමට මංගල කටයුතු කිරීම පුදුම විය යුතු දෙයක් ද නොවේ. එහෙත් දැනට කරුණු යෙදෙන ආකාරයට නම් මංගල 2025 යාමට සැලසුම් කර ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රස්සාවට වේලසනම පිටත්වීමට හිතහදා ගැනීම වඩා සුදුසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස