හිටපු ජනපතිට මෛත්‍රීට නොතීසි! රෝයල් පාර්ක් ඝාතකයා රටින් පනී! අධිකරණය විදෙස්ගතවීම් තහනම දිගු කරයි!

December 10, 2019 at 1:07 pm | by emanisa.lk

රෝයල් පාක් මිනීමැරුම් නඩුවේ මරණිය දණ්ඩනය නියම වී පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සමාව ලබා දුන් ජුඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැති විත්තිකරුට විදේශගත වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි මස 01 වනදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින විශ්‍රාමික ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණි අමරසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළේය.

මෙම නඩුවට අදාළව ආගමන සහ විගමන පාලකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ගොනු කර අතර ඒ අනුව මෙම නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නොවැම්බර් මස 15 වනදා විදේශගත වී ඇති බවට වාර්තා කරතිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපති සමාව ලැබූ විත්තිකරු සිංගප්පූරුවට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් එබැවින් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා නීතිමය හැකියාවක් පවතින බවත් සඳහන් කළේය.

මහබැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවකු වන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිටින අතර ඔහු ගෙන්වාගැනීමට නීතිමය පියවර ගැනෙන ආකාරයට මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට හැකියාව පවතින බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස