19 නමැති මා බිහි කළ සුජාත දරුවා අපචාරයට ලක්වෙලා! ව්‍යවස්ථාදායක විධායක අධිකරණ සැමට උඩින් ව්‍යවස්ථා සභාව යනවා! – ජනපති පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක සභාව නැවතත් පතුරු හරියි!

February 21, 2019 at 5:24 pm | by admin

එසේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් 19 වැනි සංශෝධනයෙන් මා බිහිකළ සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදි අද (21දා) පවත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන විවාදයේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

“ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි. අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා” යැයි ද ජනාධිපතිවරයා කීවේය.

එසේම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් හෙතෙම පවසයි.

මේ වන විට රටේ උත්තරීතර ආයතන ත්‍රිත්වය වන ව්‍යවස්ථාදාය විධායක සහ අධිකරණ යන ආයතනවලට ඉහළින් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වන්නේ යැයි ද ජනාධිපතිවරයා චෝදනා කළේය.

“අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *