සිංගප්පූරුවෙන් මහේන්ද්‍රන් ගෙන්වන්න හැකියාවක් නෑ! මහේන්ද්‍රන් රෙකමදාරු කළේ කවුද කියලා හොයලා බලන්න! – සී.බී. රත්නයාක

September 4, 2019 at 11:20 pm | by emanisa.lk

දැන් කළ යුත්තේ උදර්පන නීතිය අනුව බැඳී නොමැති සිංගප්පූරුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට නිකරුණේ කාලය මිඩංගු කිරීම නොව ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීමට නිර්දේශ කළ පුද්ගලයා කවුද යන්න සොයා බැලීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (3 දා) ‍‍‍‍නෙළුම් මාවත පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“උදර්පන නීතිය අනුව අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට ගේන්න සූදානම් වෙනවා. උදර්පන නීතිය අනුව අප සමග සිංගප්පූරුව කිසිම බැඳීමක් නැහැ. ඔහු සැකකරුවෙක් පමණක් බැවින් වරදකරුවකු නොවී ඇති නිසා ගෙන ඒමේ හැකියාවක් නැහැ.

මෙම සිදුවීම ගැන කතා කරන කොට විදේශ අමාත්‍යාංශය, උදර්පන නීතිය පිළිබඳ තිබෙන ගැටලු ගැන සොයා බැලීමට අවශ්‍යයි. මහ බැංකුවේ අධිපති පත් කළේ කිවුද කියලා සොයන්නේ නැත්තේ ඇයි?

ඕනම රජයේ සේවකයෙක් බඳවා ගන්නවානම් රෙකමදාරුවක් ඕන කරනවා. මහ බැංකුවට අර්ජුන් ම​හේන්ද්‍රන් පත් කරන විට රෙකමදාරු කළේ කවුද? ඒ සඳහා ක්‍රියාත්මක වුණේ කවුද? මේ සියලු කරුණු සොයා බැලිය යුතුයි.

සිරිමා බණ්ඩාරනායක කොරියාව ආර්ථික අහේනියට පත්වෙලා ඉන්න අවධියේ අපේ රටින් හාල් ටික යැව්වා. ආක්‍රමණවලට ලක් වූ රටක් හැටියට කොරියාවට හැම උපකාරයක්ම කරන්න සූදානම් වුණා. අද වෙනස හැටියට බැලුවාම අපි සහල් යවපු රටට මිනිස් ශ්‍රමය අපේ රටින් ලබාදෙන්න සූදානම් වෙලා තිබෙනවා.

ලීක්වාන්, මහතිර් මොහමඩ් වැනි රාජ්‍ය නායකයන් වගේ මේ රට දියුණු කරන්න අවස්ථාව සැලසුවේ රාජපක්ෂවරු 19 වැනි සංශෝධනය ගෙනැවිත් තුන්වැනි පාර බැහැ කියල එක රාජපක්ෂවරයකුට පහර එල්ල කළා. අනෙක් රාජපක්ෂට ද්විත්ව පුරවැසිභාවය චෝදනාව එල්ල කළා. තවත් රාජපක්ෂ කෙනෙක් එයි කියල තියෙන බියට අවුරුදු තිස්පහට අඩුවෙන් ජනාධිපති අපේක්ෂක වෙන්න බැහැ කියල නීතියක් ගෙනාවා.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විශ්වාසය ගොඩනගමින් ඉහළට එන විට ප්‍රතිවිරුද්ධ පක්ෂ හැටියට අනෙක් පුද්ගලයන් විවිධාකාර චෝදනා එල්ල කිරීමට සූදානම් වෙනවා. ළඟ සිටින පුද්ගලයන් අරගෙන ඒ අය මගින් විවිධ මඩප්‍රහාර එල්ලකිරීමට සූදානම් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස