පුංචි කාර් මිල නැවතත් ඉහළ යයි! ඇල්ටෝ එකක් ලක්ෂ 27.5යි!

September 14, 2019 at 1:19 pm | by emanisa.lk

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම සමග ජපන් යෙන් එකක මිල ඉහළ යාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් අලෙවිය පහත බැසීම නිසා වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේදී පැනවීමට යෝජිත සුඛෝපභෝගී වාහන බද්දෙන් පසු රු. ලක්ෂ 35කට වැඩි සිලින්ඩර් ධාරිතාව 2300 (ඩීසල්) සහ සිලින්ඩර් ධාරිතාව 1800 (පෙට්‍රල්) අගය ගන්නා සෑම වාහන කාණ්ඩයකටම රු. ලක්ෂ 5-25 අතර අමතර බද්දත් ගෙවීමට සිදු වීම මෙම තත්ත්වයට වඩාත්ම බලපා ඇති බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගම බිංදුවට වැටී තිබූ වාහන අලෙවිය නැවත 20%කින් පමණ ඉහළ යමින් තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වාහන අලෙවිය තවදුරටත් පහළ වැටීමට හේතුවක් වන බවද හෙතෙම සඳහන් කරයි.

සිලින්ඩර් ධාරිතාව 650, 800 හා 1000 යන කාණ්ඩවලට අයත් කුඩා වාහනවල මිල රු. ලක්ෂ 1.5කින් ඉහළ යාම හේතුවෙන්, ඇල්ටෝ වර්ගයේ කුඩා වාහනවල පමණක් මිල ගණන් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 27.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස