දිල්රුක්ෂි ඩයස්ගේ එජාප ජනපති අපේක්ෂක සිහින බොඳවෙයි! ඉල්ලා අස්වීම ඉල්ලා අස්කර ගෙන නැවත නැවත සේවයට යයි!

August 23, 2019 at 8:29 am | by emanisa.lk

නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරන දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට ලිඛිතව කළ ඉල්ලීම ඉල්ලා අස්කරගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ‍්‍රාම යෑමට නියමිත දිනයට පෙර තමාට විශ‍්‍රාම යෑමට අනුමැතිය ලබාදෙන ලෙසට ඇය විසින් පසුගිය සතියේ නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීමට අනුමැතිය ලබාදුන් නීතිපතිවරයා ඔහුගේ නිර්දේශය සහිතව ඇයගේ පෞද්ගලික ලිපිගොනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවීමට අවශ්‍ය පියවර ගෙන තිබුණි.

එසේ තිබියදී මීට දින කීපයකට පෙර ඇය විසින් එම විශ‍්‍රාම යෑමේ ඉල්ලීම ඉවත් කරගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ පොදු අපේක්‍ෂක ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අපේක්‍ෂාවෙන් මෙලෙස නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට අයැදුම් කර තිබූ බව වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ පත්විය.

එම කොමිෂන් සභාව විසින් අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිට එරෙහිව අල්ලස් චෝදනා යටතේ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගැනීමෙන් පසුව ඇතිවූ මත ගැටුමක් නිසා අනතුරුව ඉල්ලා අස්වී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස