ඔබතුමා ජනාධිපති වී මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව සාමකාමී බවත් සහරාන්ලා සුළුතරයක් බවත් පෙන්වා දෙන්න! – කදුරුවෙල මුස්ලිම් ජනතාව ගෝඨා වටා එක්වෙයි…

September 20, 2019 at 11:34 am | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වනු දැකීම අන්තවාදී නොවන මුස්ලිම් ජනතාවගේ බලාපොරොත්තුව බව කදුරුවෙල මුස්ලිම් කොළණිය පච්චපල්ලියේ සභාපති අල්හාජ් බසීර් අහමඩ් ප්‍රකාශ කළේය.

එසේම ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයට පත්ව මේ රටේ සහරාන්ලා වැනි අන්තවාදීන් සිටින්නේ සුළු ප්‍රමාණයක් බවත් බහුතර ජනතාව අන්තවාදී නොවන බවත් පෙන්වා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් කදුරුවෙල මුස්ලිම් කොළණිය පච්චපල්ලියේ ඊයේ (19) පැවති ආගමික වැඩසටහනකදී හෙතෙම මෙසේ පැවසීය.

එහිදී අල්හාජ් බසීර් අහමඩ් වැඩි දුරටත් මෙසේ පැවසීය.

“පල්ලියට පැමිණ ආගමික වැඩසටහනකට සහභාගි වූ අනාගත ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ස්තුතිවන්ත වෙනවා. අද දවස ඉතා වැදගත්. ඔබතුමාට සමස්ත මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශංසාව හිමිවෙනවා. අපේ ජනතාව කිසිම දිනක වැරදි වැඩක් කරන්නේ නැහැ. පල්ලිවලින් ආගමික දේවල් පමණයි කතා කරන්නේ. ජමියතුල් උලමා කොළඹ දිස්ත‍්‍රික් නායකයා ඇතුළු කවුරුත් දේශපාලනය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ නැහැ.

රටේ සියලූම මුස්ලිම්වරුන්ගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊළඟ රටේ ජනාධිපති වීමයි. අපේ ජනතාවට ආරක්‍ෂාවක් අවශ්‍යයි. පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට සිදුවූ දේවල් කවුරුත් දන්නවා. අපේ කවුරුත් මේ රටට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. මේ රට විනාශ කරන්න අපට අවශ්‍ය නැහැ. අපේ මවුවරුන් අපට කවදාවත් වැරදි දෙයක් කරන්න කියලත් නැහැ. රටේ මුස්ලිම් ජනතාව සුළු ජාතියක් වුවත් අපට අවශ්‍ය රට දියුණු කරන්නයි. සිංහල, දෙමළ ජනතාව සමග එකට ජීවත් වීමට ලැබීම අප ලද මහත් භාග්‍යයක්.

සහරාන්ලා නිසා සමස්ත ජනතාවම අන්තවාදීන් වෙලා. අන්තවාදීන් ඉන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් මාධ්‍ය මගින් සමස්ත මුස්ලිම් ජනතාව අන්තවාදීන් කරනවා. සමස්ත ජනතාවම අන්තවාදීන් නෙමෙයි. ඔබතුමා ජනාධිපති වෙලා අපි අන්තවාදීන් නැහැ කියලා පෙන්වන්න. අපේ බලාපොරොත්තුව ඔබතුමා පමණයි.”

මෙම අවස්ථාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ ඇතුළු මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස