එජාපයේ ද්‍රෝහි වැඩපිළිවෙළ “වෙනස සැපද?” “බිල්ලෝ ඇවිත්” සම්මන්ත්‍රණ මාලාවෙන් යුතුකම රටට හෙළි කළා! – යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක අනූප පස්කුවල්

July 10, 2020 at 9:04 am | by emanisalk

සුරක්ෂිත රාජ්‍යයක්, සෞභාග්‍යවත් ජනතාවක් උදෙසා කැප වීමෙන් නිර්මාණය කළ යුතු අලුත් දේශපාලනයක් පිළිබඳ මේ දිගහැරෙන සංවාදය ශ්‍රී ලංකා පොදුජන පෙර මුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, ‘යුතුකම’ සංවිධානයේ ජාතික සංවිධායක අනුප පස්කුවල් සමඟිනි.

# ‘යුතුකම’ සංවිධානයෙන් රටට ඉටු වුණු යුතුකම ගැන මුලින්ම කියමු ද?

2015දි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පරාජය කළේ දේශපාලන කුමන්ත්‍රණයකින්. ඒත් එක්කම යහපාලනයක් කියලා එකක් ගෙනැල්ලා රටේ මිනිසුන්ව රැවැට්ටුවා. මේක මේ රටේ රණවිරුවන් සිරගත කිරීම දක්වා යන, රට විනාශය කරා යන වැඩපිළිවෙළක් වග කල්තියා දැකලා තමයි 2015දි ‘යුතුකම’ ජාතික සංවිධානය ගොඩනැඟුවෙ. ඒ හරහා අපි මුලින්ම සම්මන්ත්‍රණයක් කළා, ‘වෙනස සැපද?’ කියලා. ඇත්තටම ඒ වෙනස සැපක් නෙවෙයි විනාශයක්. විනාශයේ දොරකවුළු තමයි විවෘත කරගෙන තියෙන්නෙ කියන කාරණාව ජනතාවට වටහා දීමට යුතුකම සංවිධානය කටයුතු කළා. ඊට පස්සේ යහපාලනය විසින් මහබැංකුව හොරාකෑවා. සුද්දො ලංකාවට ඇවිත් රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරය කොල්ල කාලා බෙදාගත්තා වගේ මහ බැංකුව හොරාකාලා එජාපයේ දේශපාලනයට, යහපාලනයේ දේශපාලනයට ඒ මුදල් යොදාගත්තා. ඒ වෙනුවෙනුත් අප සම්මන්ත්‍රණ මාලාවක් ගෙන ගියා. ජිනීවා පාවාදීමට එරෙහිවත් ‘බිල්ලො ඇවිත්’ නමින් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවා. එයාකාරයෙන් එජාපය රටට එරෙහිව කළ ක්‍රියාදාමයන් හෙළිදරව් කරමින් එජාපයේ ඇත්ත තත්ත්වය පෙන්වාදීමයි යුතුකම සංවිධානයෙන් සිදු කළේ. අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමන්ගේ විජයග්‍රහණයේදී විශාල වැඩ කොටසක් කරමින් විජයග්‍රහණය දක්වා ගෙනයන්න කටයුතු කළා.

# මිනිස්සුන්ට මේ පරණ දේශපාලන ක්‍රමවේදය එපා වෙලයි තියෙන්නේ. නව අපේක්ෂකයෙක් විදිහට මොකද්ද ඔබේ දේශපාලන දැක්ම?

මේ වෙනකොට රටේ තියෙන්නේ දූෂිත, මජර දේශපාලනයක්. ඒකයි ජනතාව කිව්වේ 225 ම එපා කියලා. මෙයට බලපෑ ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ 1978 ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව තුළින් තමයි මේ මජර දේශපාලනය ආරම්භ වුණේ. එම ව්‍යවස්ථාවෙන් එතෙක් කල් පැවැති ආසනයට වගකියන මන්ත්‍රීවරයකු වෙනුවට මනාප ක්‍රමය ඇති කළා. දිස්ත්‍රික්කය පුරා මන්ත්‍රීවරයාට මනාප හොය හොය ඇවිදින්න වෙන තත්ත්වයට පත් කළා. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් මුලින්ම කළේ මන්ත්‍රීවරුන්ට බාර් ලයිසන් දීලා මන්ත්‍රීවරුන්ව දූෂණයේ කේන්ද්‍රය බවට පත් කිරීම. බාර් ලයිසන් හරහා හම්බ කරන මුදල්වලින් තමයි මනාප ක්‍රමයට මන්ත්‍රීවරුන්ව යොමු කළේ. එය ක්‍රමිකව විකාශනය වෙලා දැන් රට පුරා තියෙනවා කුඩු මාෆියාවක්. අපේ දරුවන් ව බිලිගැනීමට කුඩු ඇවිත් අපේ දොරකඩටම . අලුත් දේශපාලනයක් පටන් ගන්න නම් මේ පවතින මැතිවරණ ක්‍රමය සහ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනෙ. නව ව්‍යවස්ථාවක් සඳහා වූ අපේ ම යෝජනාවලියක් අපි පෙබරවාරී මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමාට භාර දුන්නා. ඒකෙදි ප්‍රධාන වශයෙන් ම යෝජනා කළේ මේ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කරලා, ආසනයට වගකියන මන්ත්‍රීවරයකු ලබාදිය යුතු බවයි. ඒ යෝජනාව එතුමා පිළිගත්තා. අප ඒක ඡන්දයෙන් පස්සේ පාර්ලිමේන්තුවෙදි නව ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට ඉදිරිපත් කරලා, සම්මත කරගන්නවා. ඊට අමතරව එම යෝජනාවලියේ තවත් කරුණු අන්තර්ගතයි. අලුත් දේශපාලනයේ ආරම්භය නිර්මාණය කරගැනීම සඳහා ඒ සියල්ල අවශ්‍යයි.

# රට කරවීමට වියතුන් අවශ්‍ය බව කියනවා. ඒත් වියත් වූ පමණින්ම රටක් කරවිය හැකි ද?

අලුත් දේශපාලනයක් වෙනුවෙන්, ගෝඨාභය ජනපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරමින් මේ රට සංවර්ධනය කරා ගෙන යා හැකි වියත් පිරිසක් අවශ්‍යයි. ඒත් වියත් කිව්වම නිකම් ම නිකම් වියතුන් නෙවෙයි. එහෙනම් රනිල් වික්‍රමසිංහත් වියතෙක්නෙ. රට කරවීමට අවශ්‍ය දේශප්‍රේමී, අත්දැකීම් සහ පළපුරුද්ද ඇති උගත් බුද්ධිමත් පිරිසක්. ඒ වෙනුවෙන් මෙවර මැතිවරණයට ගෝඨාභය ජනපතිතුමන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් විවිධ ක්ෂේත්‍රවල වියතුන් 16 දෙනකු ඉදිරිපත් කර තිබෙනවා.

මම ඉදිරිපත් වෙලා ඉන්නේ පරිසරවේදියකු විදිහට. සෞභාග්‍යයේ දැක්ම කළුතර දිස්ත්‍රික්කය තුළත් රට පුරාමත් ක්‍රියාත්මක කිරීමට දායකත්වය දෙන්නේ ඉතා කැමැත්තෙන්. එතනදී බුද්ධිමය ප්‍රවේශයක් වගේ ම ප්‍රායෝගික ප්‍රවේශයක්ද සිදු විය යුතුයි. අපි අගමැතිතුමාගෙන් කළුතරට තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ඉල්ලා සිටියා. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එහිදී අපේ අලුත් දේශපාලනය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් විදිහට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් කළුතර දිස්ත්‍රික්කයේ දරුවන්ට ලබාදෙමින් දරුවන් නව මාර්ගයකට ප්‍රවේශ කරවීමත් පෙන්වා දිය හැකියි. න්‍යායට අනුකූලව විද්‍යාත්මක ප්‍රවේශයක් ද ලබාදීම වැදගත්. පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ව්‍යවස්ථාදායකය. නීති සම්පාදනයට අවශ්‍ය කරන දැනුමක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි. එහිදී අප බලාපොරොත්තු වෙන්නේ පවත්නා මජර දේශපාලනයේ අතකොළු බවට පත් නොවන පිරිසක්.

# ඔබ පරිසරවේදියෙක්. මේ රටේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති ක්‍රියාදාමයේ මොන වගේ වෙනසක් ද සිදු විය යුත්තේ?

මේ රටේ පරිසරයට ප්‍රබලම විනාශය සිදු වුණේ 60 දශකයේ. යුරෝපියන් ඔවුන්ගේ වෙ‍ෙළඳපොළ නිර්මාණය කරගැනීම සඳහා, ආහාර වැඩි කරගන්න කියලා හරිත විප්ලවය කියලා එකක් ගෙනැත් අපිට කෘමි නාශක, වල් නාශක සහ රසායනික පොහොර විතරක් නෙවෙයි දෙමුහුම් බීජත් ලබාදුන්නා. මේ රටේ සියලු තෙත්බිම්වල කුඹුරුවල කෘමිනාශක, වල් නාශක, රසායනික පොහොර භාවිත කරලා සම්පූර්ණයෙන් ම ඒවා විෂ සහිත පරිසර බවට පත් කළා. මාළුවාගේ ගැඩිවිලාගේ ඉඳන් දැන් ඒ පරිසරවල ජීවීන් මැරිලා ගිහින්. සියලු කෘමීන් විනාශ කරලා දාලා දැන් මේ භූමි හරියට සොහොන් බිම් වගේ. සොහොන් බිමකට ඔරොත්තු දෙන ආකාරයේ සාමාන්‍යයෙන් භයානක ක්ෂුද්‍ර ජීවීන් තමයි ඒ පරිසරවල ඉන්නේ. ශරීරයට ඇතුළු වුණොත් විවිධ රෝග ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම කුඹුරු ගොවිතැන ආශ්‍රිතවත් ලෙඩරෝග බහුල වෙලා. සෞභාග්‍යයේ දැක්ම තුළ අපි පැහැදිලි ව ප්‍රකාශ කරලා තියෙනවා නැවතත් ඒවා සජීවි පරිසර බවට පත්කිරීම, කාබනීකරණය සහ ස්වභාවික ගොවිතැන සමඟ අලුතෙන්ම අරඹන්න. කාබනික ගොවිතැන සහ දේශීය වී වගාව පිළිබඳ කාලාන්තරයක් තිස්සේ මම කටයුතු කරලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරයේ සේවය කරමින් ‘පිළිසරු’ ව්‍යාපෘතිය හරහා ලංකාව පුරා ම කාබනික පොහොර අංගණත්, ඒ සඳහා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානත් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. පරිසර නිලධාරියෙක් විදිහට 1992 දි මම මතුගමට මුලින් ම කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ඉදිරිපත් කරලා ඒක ක්‍රියාත්මක කළා. කාබනික පොහොර නිෂ්පාදනය කළා. කසළ කළමනාකරණය තුළින් පොහොර නිෂ්පාදනය කරලා බෙදා හැරියා. ඊට පස්සේ ‘පිළිසරු’ ව්‍යාපෘතිය හරහා ඒ ආකෘතිය තුළින් ම රටට ම පොහොර දුන්නා. ප්‍රතිචක්‍රීකරණය කළා. දැන් ඉතාමත් ම නවීන විදිහට සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ ඉලක්ක සපුරා ගැනීම සඳහා කුඹුරු ගොවිතැන වෙනුවෙන් හොඳ පිරිසුදු කාබනික පොහොර නිෂ්පාදනය, කසළවලටත් වඩා කෘෂිකාර්මික අපද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරලා, රට පුරාම වී ගොවිතැන සශ්‍රීක කරමින් නිරෝගී පරපුරක් බිහි කිරීමට අවශ්‍ය කරන කාබනික ආහාර තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ කසළ කළමනාකරණයට විශේෂ මැදිහත් වීමක් කළා. නමුත් 2015දි රජයේ වැටීම නිසා ඒ සියල්ල ඇනහිටියා. දැන් අපි ඒ සැලසුම් තවදුරටත් ශක්තිමත් කරලා අලුතෙන් ම පටන් ගන්නවා. ලංකාව පුරා ම කසළ කළමනාකරණය නිසි පරිදි කරලා පිරිසිදු අලංකාර රටක් බවට පත් කරනවා. කොළඹ නගරය දකුණු ආසියාවේ තියෙන පිරිසිදු ම නගරය බවට පත්කරනවා. ඒ පරිසර දැක්ම අපි ඉදිරියට ම ගෙනියනවා.

# ආර්ථිකය ගොඩගන්න, කෘෂිකර්මාන්තය පැත්තෙන් දෙන්න පුළුවන් දායකත්වය වැඩි කරන්න නම් මොනවද කරන්න පුළුළුන්?

කෘෂි කර්මාන්තයට යොදාගත හැකි සියලුම ඉඩම්වල කෘෂි කර්මාන්තයේ යෙදෙන්න ඕනෙ. පසුගිය කාලයේ ඒ වෙනුවෙන් ජනතාව තුළ උනන්දුවක් ඇති වුණා. නමුත් ඒ උනන්දුවට අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවායි කියලා අපට තාම පේන්න නෑ. උදාහරණයක් විදිහට පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලිය ගත්තත් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය රජයෙන් හරි ආකාරව ලැබෙනවාද කියන කාරණාව තවම පැහැදිලි නෑ. කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඇතිවූ බිඳවැටීමත් ඒ සඳහා බලපාන්න ඇති. කෙසේ හෝ නිශ්චිත ඉලක්කයකට කෘෂිකර්මාන්තය යොමු කිරීමේ පැහැදිලි අවශ්‍යතාවක් තියෙනවා. සැලැස්මකට අනුව සෑම දිස්ත්‍රික්කයක් ම ඒ වෙනුවෙන් සූදානම් කළ යුතුයි. සෞභාග්‍යයේ දැක්ම තුළ ඇති වැඩපිළිවෙළ බොහෝ දුරට ක්‍රියාත්මක කිරීම තුළින් අපිට ඒ ඉලක්කය කරා යා හැකියි. ඒ සඳහා අවශ්‍ය අලුත් පාර්ලිමේන්තුවක් හදාගන්න එක තමයි දැන් විය යුත්තේ.

සෞභාග්‍යයේ දැක්ම වෙනුවෙන් අලුත් පාර්ලිමේන්තුවක් නැතුව, අර පරණ කුණු වෙච්ච පාර්ලිමේන්තුවෙන් මේ කාරණා ඉෂ්ට කරගැනීම අපහසුයි. මේ වන විට පාර්ලිමේන්තුව විසුරවලා තියෙන්නේ. විසුරවන්න කලින් වුණත් මොනම දේකටවත් ඒ පාර්ලිමේන්තුවෙන් සහයෝගයක් ලැබුණෙ නෑ. අලුත් පාර්ලිමේන්තුවෙදි සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරගැනීම පිණිස ජනාධිපතිතුමා ඒ ඒ අමාත්‍යවරුන්ට නියමිත කාලයක් තුළ ළඟා කරගැනීමට නිශ්චිත වශයෙන්ම ඉලක්ක ලබාදෙනවා, මේ මේ අමාත්‍යාංශයෙන් මේ මේ දේ ඉටුවිය යුතුමයි කියලා. එතනදී කෘෂි කර්මාන්තය සම්බන්ධයෙන් පැහැදිලි සැලැස්මක් තියෙනවා. සියලු බිම් වගා කිරිම, පුරන් කුඹුරු අස්වැද්දීම, කාබනීකරණය එම සැලැස්මට අන්තර්ගතයි.

කොහොම වුණත් සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරගැනීමට නම් ඒ සඳහා අවශ්‍ය කරන වියත් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනෑ. එහෙම නැත්නම් සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න බෑ.

දැනුම, අත්දැකීම් සහ විවිධ ක්ෂේත්‍රයන් තුළ පළපුරුදු ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයක් හා මන්ත්‍රී මණ්ඩලයක් අවශ්‍යයි. කාබනීකරණය සම්බන්ධව මට විශේෂ දැනුමක් තියෙනවා. නාලක ගොඩහේවා ඉංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධ විශේෂ දැනුමකින් සන්නද්ධයි. අනුරාධපුරෙන් චන්න ජයසුමන ඉදිරිපත් වෙන්නේ වෛද්‍යවරයකු විදිහට. ඔහු වකුගඩු රෝගය සම්බන්ධ විශේෂ පර්යේෂණ ගණනාවක් කරලා ඒ සම්බන්ධ අත්දැකීම් බහුල සහ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳවත් මනා දැනීමක් තියෙන පුද්ගලයෙක්. ඒ නිසා ඒ වගේ අය මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ගියොත් තමයි සෞභාග්‍යයේ දැක්ම තුළින් ඉදිරිපත් කරලා තියෙන වකුගඩු රෝග ප්‍රශ්නවලට විසඳුමක් දීම, කෘෂි කර්මාන්තය කාබනීකරණය කිරීම, හෙළ ගොවිතැන ශක්තිමක් කිරීම වැනි සියල්ල කළ හැකි වන්නේ.

# මැතිවරණ ප්‍රචාරණය සම්බන්ධයෙන් ඇති නව නීතී නව අපේක්ෂකයකු ලෙස ඔබ දකින්නේ කොහොම ද?

පෝස්ටර් ගහන්න බෑ කියන එක වැරදියි. පෝස්ටර් කියන්නේ ජනතාව අතරට යන්න පුළුවන් එක මාධ්‍යයක්. ඒ මාධ්‍ය පාවිච්චි කරද්දි ජනතාවට හානියක් නොවන විදිහටත් පරිසරයට හානියක් නොවන විදිහට පාවිච්චි කරන්න ඕනෙ. ඩිජිටල් මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඩිජිටල් මාධ්‍ය විතරක් පාවිව්චි කරන්න හැමෝටම බෑ. ඇත්ත වශයෙන් ම පෝස්ටර් භාවිත කිරීමේදී පරිසරයට හානියක් වෙනවා. සියලු කඩදාසි පාවිච්චි කිරීමේදී පරිසරයට හානියක් වෙනවා. නමුත් පෝස්ටර් කියන එක එදා ඉඳන්ම ජනතාව අතර තිබිච්ච මාධ්‍යයක් නිසා ඒ සඳහා සුදුසු බෝඩ් තියෙන්න ඕනේ ඒවා ප්‍රදර්ශනය කිරීමට. ඒ බෝඩ් පාවිච්චි කරලා පෝස්ටර් ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් තියෙන්න ඕනෙ. ඒක තහනම් කිරීම එච්චර සුදුසුයි කියලා මම හිතන්නෙ නෑ. එහෙම කළාම සාමාන්‍ය අපේක්ෂකයන්ගේ මතය ජනතාව අතරට ගෙනියන්න බැරි වෙනවා. ඒ නිසා පරිසරයට හානිය අවම වන ආකාරයෙන් නිශ්චිත නීති ක්‍රියාත්මක කරමින් පෝස්ටර් ප්‍රදර්ශනයට ඉඩ දෙනවා නම් හොඳයි. මහා රැස්විම් නම් අවශ්‍ය නෑ. ඒවායේදී වෙන නාස්තිය වැඩියි. පොකට් මීටින් තියන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ අවස්ථාව පාවිච්චි කරලා ජනතාව අතරට තමන්ගේ මතය ගෙනියන්න අපි උත්සාහ කරන්න ඕනෙ. පත්‍රිකා බෙදන්නත් තහනමක් නෑ. ඉතිං ඒ ප්‍රමාණය ඇති. මහා රැස්වීම්වල අවශ්‍යතාවක් විශේෂයෙන් මම දකින්නෙ නෑ.

# ගෝඨාභය ජනපතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු එක්ක සමඟම හිටපු අයට අද වෙනකොට තැනක් නැතිවෙලා කියන්නේ ඇත්තද?

මට නම් එහෙම දෙයක් පේන්න නෑ. මීට කලින් මේ රටේ සංස්ථාපිත මණ්ඩලවලට නිලධාරින්, සභාපතිවරුන් පත්කළේ ඇමතිවරයා. බොහෝ විට සුදුස්සන් නෙවෙයි පත් වුණේ. හරියට අස්සනක්වත් ගහගන්න බැරි අයව සභාපතිවරුන් විදිහට පත් කරලා තියෙනවා. එහෙම කරලා ඒ ආයතන සම්පූර්ණයෙන් ම දේශපාලනය සඳහා පාවිච්චි කරපු එකයි කළේ. ඒ හේතුවෙන් ම ඒවා පාඩු ලබන ආයතන බවට පත් වුණා. නමුත් මෙවර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ ආයතනවලට පත් කළේ එතුමාගේ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළට සහ සෞභාග්‍යයේ දැක්ම සැකසීමට උදව් කළ දක්ෂ සහ වියත් පිරිසක්. එතුමාගේ ළඟින් හිටපු උගත් බුද්ධිමත් 16 දෙනකුට මැතිවරණ අපේක්ෂකත්වය ලැබුණා.

16 දෙනෙක් ප්‍රමාණවත් නෑ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් මෙතෙක් කල් දේශපාලනය කරපු අය සම්පූර්ණයෙන් ම අයින් කරලා අලුත් අය ම විතරක් දාන්නත් බෑ. එහෙම වුණොත් ගැටුමක් ඇති වෙනවා. හැමෝම එකවර මැතිවරණයට ඉදිරිපත් කරන්නත් බෑ. දිස්ත්‍රික්කයෙන් එක්කෙනා බැගින් ඉදිරිපත් කළ ඒ 16 දෙනා හොඳ ප්‍රතිඵලයක් ලබාගත්තොත් ඒක යහපත් තත්ත්වයක්. තමන්ට අවස්ථාවක් ලැබුණෙ නෑ කියලා ගැටුමක් නිර්මාණය කරනවාට වැඩිය ජනාධිපතිතුමා මේ රට ගොඩනැඟීම වෙනුවෙන් අවස්ථාව දීලා තියෙන පිරිසට උපරිම ශක්තිය ලබාදෙන්න ජනතාව උත්සාහ කරන්න ඕනෑ. එවිට අපිට අවශ්‍ය කරන දිශාව කරා රට අරන් යන්න පුළුවන්. මේක තමයි මේ මජර දේශපාලනය අවසන් කිරීම සඳහා ජනතාවට ලැබිලා තියෙන අවස්ථාව.

ජනතාව ඉල්ලුවේ 225 ම ඉවත් කරන්න කියලා. විශාල පිරිසක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ 225ක් හිටියට වැඩක් නෑ කියලා. දැන් ගෝඨාභය මැතිතුමා එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම, එතුමාගේ සංවිධානය නියෝජනය වන ආකාරයෙන් 16 දෙනකුට අපේක්ෂකත්වය දීලා තියෙනවා. මේ අවස්ථාව මඟහරින්නෙ නැතුව එම පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට යවන්න කටයුතු කරන්න කියන එක තමයි ජනතාවගෙන් අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නෙ.
dinamina

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස