නීතියේ ආධිපත්‍යයට මුවාවී සිදුකරන්නේ පළිගැනීම… පූජිත හේමසිරි අධිකරණ දණ්ඩනවාදයෙක් ගොදුරක්… අනුර යන්නේ හිට්ලර් ස්ටාලින් ගිය පාරෙමයි…! – නීතිඥ ශිරාල් ලක්තිලක….

August 3, 2026 at 11:40 am | by emanisa.lk

දිනන දකුණ සංවිධානයේ නායක නීතිඥ ශිරාල් ලක්තිලක විසින් සිය ෆේස්බුක් පිටුවෙහි පළකළ ලිපියකි.

පූජිත/ හේමසිරිට ලබාදුන් මරණ දඬුවම හරහා සමාජයට කල් ගතවී හෝ උගත හැකි පාඩම:

පාස්කු ප්‍රහාරයට ලක්වු අහිංසක ජනතාව වෙනුවෙන් යුක්තිය පසිඳලීමට එරෙහිව විකල්ප අදහසක් අපට නැත්තේය. එම වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතුව තිබේ.

නමුත් පාස්කු ප්‍රහාරයට ලක්වු වින්දිතයන් වෙනුවෙන් වගකිව යුත්තන්ට රාජසිංහ රජ කාලයේ සිදුවු පරිදි දඬුවම් ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල නීතියේ ආධිපත්‍ය නාමයෙන් සිදුවන්නේ නම් එය අනුමත කළ නොහැකි කරුණක් වන්නේය.

අප එලෙසට පවසන කල ඇඟිල්ල දික්වන්නේ දඩුවම් ලබාදුන් අධිකරණය වෙතටය. නමුත් මෙය අධිකරණය ඉදිරියේ පවතින හරයාත්මක නීතිය හෝ කාර්යපටිපාටික නීතිය තුල පවතින දෝෂයක් නිසා හටගත්තක් නොවේ.

එසේ හඳුනාගත හැකි දෝෂයක් පවතී නම් පූජිතට/හේමසිරිට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමෙන් තමට එරෙහිව සිදුවු අයුක්තිය ප්‍රතිශෝදනය කර ගත හැකිව තිබේ.

නමුත් මෙය ජවිපෙ විසින් සමාජය මත මුදා හරිමින් සිටින අති සුක්ෂම දේශපාලනයක ප්‍රතිපලයක් ලෙස අධිකරණ මනසට කාන්දුවෙමින් පවතින චින්තනයක් නම් එමගින් ඇති කරවනු ලබන ප්‍රථිපල අගතිදායක වන්නේය.

එහි පදනම වී ඇත්තේ නීතියේ ආධිපත්‍යය” මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය (Punitivism) රාජ්‍යයේ භුමිකාවක් ලෙස ක්‍රියාත්මක කිරීම සදහා වන චින්තනයයි.

නීතියේ ආධිපත්‍යය” (Rule of Law) මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය (Judicial Punitivism) යනු අධිකරණය විසින් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන බව පෙන්වමින්, සැබෑ ලෙසම සිදු කරන්නේ අධික ලෙස බරපතල, පළිගැනීමේ ස්වරූපයෙන් යුතු සහ දැඩි ලෙස නීතිය අකුරටම ක්‍රියාත්මක කරන දණ්ඩනයන් ලබා දීමයි.

මෙහිදී “නීතියේ ආධිපත්‍යය” යන්න එහි සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සහ මානව හිමිකම් පදනමින් ගිලිහී, “දඬුවම් දීමේ මෙවලමක්” බවට පත්වේ.

මෙහිදී සිදුවන්නේ නීතියේ වගන්තිවල වචනාර්ථය (literal interpretation) පමණක් අල්ලා ගනිමින්, සිදු වූ හානියේ ප්‍රමාණයට සාපේක්ෂව පුද්ගලයාගේ වරදෙහි ස්වභාවය (Mental culpability) නොසලකා අධික දඬුවම් නියම කිරීමයි.

අපට අනුව පූජිත/හේමසිරි මරන දඩුවමේ පදනම එයයි. අනුර ජනාධිපතිවරයා කියන්නේ තමන් නීතියේ ආධිපත්‍ය සුරැකීමට ගත හැකි සියලු පියවර ගන්නා බවය. නීතියට ඉහළින් කිසිවකු නැති බවය.

ජනාධිපතිවරයාට අනුව මෙම ක්‍රියාවලිය සඳහා තමන්ගේ සම්බන්ධතාවක් නැත. එය ක්‍රියාත්මක වන්නේ ස්වාධීන රාජ්‍ය ව්‍යුහයන් හරහාය. නමුත් ජනාධිපතිවරයා කරන්නේ එම ස්වාධීන ව්‍යුහයන් තුලට තමන්ගේ චින්තනය කාවද්දනු ලැබු පුද්ගල සාධක ඇතුළත් කිරීමය.

දැනටමත් එසේ චින්තනය කාවැද්දු නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගණනාවකි. ඉතිරිව තිබෙන ආයතන තුලටද එම චින්තනය කාවැද්දීම සඳහා කවුරුන් එරෙහි වුවද ව්‍යවස්තා සංශෝදනයක් ගෙන ඒමට පවා ජනාධිපතිවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් සිටියි. එම අත්තනෝමතිකභාවය පිටුපස පවතින්නේ තම දේශපාලනික අවශ්‍යතාවයි.

ඒම ආයතන අකුරටම නීතිය ක්‍රියාත්මක කරති. එවිට ක්‍රම වෙනසක් පැතු ජනතාව ආණ්ඩුව පැත්තට හුරේ දමති. බැලු බැල්මට සාධාරණ හා යුක්තිගරුක ප්‍රවිෂ්ටයක් බව පෙනෙන මෙම ක්‍රියා මාර්ගයේ අදහස වන්නේ ආණ්ඩුව තම දේශපාලන අභිමතාර්ථ දිනා ගැනීම සදහා බළලුන් ලවා කොස් ඇට බාවා ගැනීමය.

එනම් නීතියේ ආධිපත්‍යය” මුවාවෙන් අධිකරණ පද්ධතිය හරහා අධිකරණමය දණ්ඩනවාදය (Punitivism) යොමු කරවා ගැනීමටය. මෙය බරපතල නීතිමය අපගමනයක් වුවද ආරම්භයේදී ජනතාව මෙයට කැමති වන්නේය. නමුත් කල්ගතවී ඒ බව තේරෙන විට ප්‍රමාදවී වැඩිවිය හැකිය.

මෙවැනි ප්‍රවණතා ලෝක ඉතිහාසයේ හිට්ලර්ගේ ජර්මනිය තුළද ස්ටැලින්ගේ රුසියාව තුළද දක්නට ලැබුණි. එම අත්දැකීම් අද අපට නම් කරන්න හැකි වන්නේ නීතියේ ආධිපත්‍යය මුවාවෙන් සිදුවන අධිකරණමය දණ්ඩනවාදය (Punitivism) ලෙසටමය.

ජර්මනියේ සහ රුසියාවේ ජනතාව එදා තම තමන්ගේ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද එකී ක්‍රියා සඳහා හුරේ දැමුවේ තම දේශවාත්සල්‍ය පෙරදැරි කොට ගෙනය. ලංකාවේ වර්තමානයද එලෙසටමය. පුජිත/හේමසිරිගේ මරණ දඬුම පිළිබිඳව ප්‍රීති වන්නන් බොහෝමයකි.

ඔවුන් ඉල්ලන්නේ ඇසට ඇසකි. නමුත් එම ප්‍රතිපලයේ පිටු පස ඇති කටුක බව ඔවුහු නොදකිති. දැනට දිග හැරෙන තත්ත්වය තුල ලංකාවෙ ඉදිරි අනාගතය ගෙවන්න වෙන්නෙ මෙන්න මේ ප්‍රවණතාව තුල බව ඉතා පැහැදිලිය.

රජය විනිසුරු වරුන්ගෙ විශ්‍රාම වයස වැඩි කරන්න දඟලන්නෙත් මෙන්න මේ ප්‍රවණතාව රට තුල ප්‍රධාන පාලන රීතිය බවට පත් කරන්නට බව මනාව තහවුරු වන්නේය. පද්ධතිමය බිඳවැටීම් හමුවේ මහජන කෝපය දඩමීමා කොට ගෙන අධිකරණය විසින් දැඩි දණ්ඩනීය ප්‍රවේශයක් අනුගමනය කිරීම ඓතිහාසිකවද දැකගත හැකි තත්ත්වයකි.

හිට්ලර් මේ සඳහා භාවිත කළේ පලවන ලෝක යුද්ධයට පසුව ජර්මනියේ ලැජ්ජා සහගත යටත්වීමයි.
ජාතියට වු අවමානය භාවිත කරමින් හිට්ලර් නාසි ජර්මනිය ගොඩනැගුවා. වෛමාර් ජනරජය කඩා බිඳ දමා දණ්ඩනවාදය මත රට පාලනය කරන්නට හිට්ලර් කටයුතු කළේය.

දණ්ඩනවාදයේ ප්‍රතිපලය වුයේ හිට්ලර්ට තමන්ගේ ප්‍රතිවාදීන් නීතියට අනුව සිරබත් කෑමට සැලස්වීමය. එලෙසට ජර්මනියේ ක්‍රියාත්මකවු දණ්ඩනවාදය පිළිබඳව අද අපට සිහිපත් කරන්නේ මාටින් නිමොලර් පියතුමා විසිනි.

ස්ටාලීන් එලෙසටම ප්‍රති විප්ලවයට එරෙහිව මර්දනකාරී රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගුවන් ලදී. ස්ටාලින් යුගයේ එම රටේ ව්‍යවස්තාවේ 58 වන වගන්තිය යටතේ පාලන සමයන්හිදී රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල හෝ පරිපාලනමය අසාර්ථකත්වය “රාජ්‍ය ද්‍රෝහීකමක්” ලෙස සලකා දඬුවම් දෙන්නට එරට අධිකරණවලට බල කරනු ලැබුවා.

ලංකාව තුල සිදුවන්නට යන්නේද ඊට සමාන කටයුත්තකි. රට බංකොලොත් කරවු දෙශපාලනයට දඬුවම් පැමිණවීම ජනතාවගේ අභිප්‍රායයි. නමුත් ඒ හරහා රාජ්‍ය අල්ලා ගැනීම අනුර ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙ අභිප්‍රාය වී තිබේ.

ඒ නිසා අනුර ජනාධිපතිවරයා සමාජය මෙහෙයවන්නේ සොරකමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටය. එවිට ජනතාවගේ පාරේ ගොස් තමන්ගේ ඉලක්කයද දිනා ගන්නට හැකි වන්නේ යයි අනුර ජනාධිපති සිතන බව පෙනෙයි.

පූජිත/හේමසිරි මරණ දණ්ඩනය හරහා අනුරගේ එම චින්තනයට තවත් එක් නිර්නාකයක් එක් කොට තිබේ. ඒ රාජ්‍ය නොසැලකිල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමය. බැලු බැල්මට මෙය සද්භාවී උත්සාහයකි. ජනතාවගේ ප්‍රණාමයද ඒ සඳහා රජයට හිමිවෙමින් තිබේ.

නමුත් ගැඹුරින් සලකව කල මෙම ප්‍රවණතාවයේ පවතින ප්‍රධාන ලක්ෂණය වන්නෙ සාධාරණත්වයට ඉහළින් අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීමයි. නමුත් නීතියේ ආධිපත්‍යය යනු අකුරටම නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ.

නීතිය ආධිපත්‍ය යටතේ යුක්තිය ඉටු කිරීම වරදකට පමුනුවන දඬුවමේ ප්‍රමාණාත්මක බව (Proportionality), පුද්ගල එරෙහිව චෝදනා කරන වරදෙහි ස්වභාවය සහ එම වරද සිදුකිරීමට පෙර එය පුරෝකථනය කළ හැකි බව යන මූලධර්ම මත පදනම් වූවකි.

එවැනි පසුබිමක දඬුවම තීරණය විය යුත්තේ සිදු වූ හානියේ ප්‍රමාණය මත නොව, පුද්ගලයාගේ මානසික චේතනාව (mens rea) මතය. පූජිත/හේමසිරිට ලබා දුන් මරණ දණ්ඩනය මගින් පෙන්වන්නේ අපගේ අධිකරණ ක්‍රමය ඉහතින් සඳහන් කඵ දණ්ඩනවාදයට පය තැබීමේ ප්‍රවණතාවයි.

පූජිත/හේමසිරිට පැනවු මරන දණ්ඩනය තුල පවතින පරස්පරය පැනනගින්නේ පරිපාලනමය නොසැලකිල්ලේ මානසික මූලධර්මය (mens rea) සහ මරණීය දණ්ඩනය සඳහා අවශ්‍ය වන නෛතික සීමාව අතර පවතින දුරස්තභාවය නිසාය.

මෙම තත්ත්වය තවදුරටත් අපරාධ නීතිය තුලින් පැහැදිලි කරගත හැකිව තිබේ. සම්මත අපරාධ නීති රාමුව (ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294 වන වගන්තිය) යටතේ මරණීය දණ්ඩනය ලබා දීම සඳහා සෘජු මිනීමැරුම් චේතනාව (dolus directus) හෝ මරණය සිදුවීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව දැන දැනම සිදුකරන ක්‍රියාවක් (dolus eventualis) තිබිය යුතුය.

නමුත් මෝටර් රථයක අනතුරකින් යමෙකු මිය ගිය විට එම රියදුරා එය දැන දැනම සිදු කළ ක්‍රියාවක් නොවන නිසා ලබාදෙන දඬුවමේ ස්වභාවය පහළ යන්නේ එම රියදුරා සතුව තිබු අපරාධ චේතනාවේ අඩු මට්ටම නිසාය. එවැනි තත්ත්වයකදී අපරාධමය නොසැලකිල්ලක් සඳහා වන අපරාධමය චේතනාව ඉතා පහළය.

නමුත් දණ්ඩනවාදය මත පිහිටන අධිකරණයකට ඉහත තර්ක කිසිවක් අදාල නොවන්නේය. වැදගත් වන්නේ ප්‍රතිපලය දෙස බැලීම පමණකි.

අවසාන වශයෙන් අපට කිව හැක්කේ දණ්ඩනවාදය අධිකරණමය මනසක කොටසක් වුවද එය අධිකරණයට අභිනවයෙන් ඒකාත්මිකව ආරෝපනය කරමින් සිටින්නේ අනුර ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙ දේශපාලනය විසින් බවයි.

අධිකරණය එම දේශපාලන චින්තනයේ ගොදුරක් වනු ඇත්ද නැද්ද යන්න අනාගතයේදී අපට ලැබෙන අත්දැකීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස