යහපාලන ආණ්ඩුවට පූජිත් ජයසුන්දර පොලිස්පති ධුරයට පත්කිරීමට දැඩි බලපෑම් කළේ එවක එම ආණ්ඩුවේ ජාතික මෙහෙයුම් කමිටුව නියෝජනය කළ අනුර දිසානායක සහ විජිත හේරත් බව ජන අරගල සන්ධානයේ නීතිඥ නුවන් බෝපගේ පවසයි.
“පූජිත ජයසුන්දර 2016 අප්‍රේල් මාසයේ පොලිස්පති විදිහට පත්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බරපතළ ඉල්ලීමක් විදිහට. 2015 BRC පිටියේ පැවති ජවිපෙ මැයි රැලියට පූජිත් ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පති විදිහට පුද්ගලිකවම ගිහින් ඡායාරූපවලට පෙනී සිටිනවා.
ඒ දැඩි හිතෛෂීභාවය අඛණ්ඩව නඩත්තු කරලා 2016 අවුරුද්දේදී පොලිස්පති ධූරය පුරප්පාඩු වූ අවස්ථාවේදී ඒ වන විට යහපාලන ආණ්ඩුවේ ව්‍යවස්ථාදායක සභා ජාතික මෙහෙයුම් කමිටුවේ ප්‍රබල සාමාජිකත්වයක් දැරූ ජනතා විමුක්ති පෙරමුණ එහි නායක අනුර කුමාර දිසානායක සහ මන්ත්‍රී විජිත හේරත් හරහා ආණ්ඩුවට දැඩි බලපෑමක් කරලා පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත්කර ගන්නවා.
යහපාලන ආණ්ඩුවත් සමඟ ජවිපේ පැවති අප්රකාශිත සන්ධාන එකඟතාවල බලපෑම මත තමයි පූජිත ජයසුන්දර මේ තනතුරට පත්වෙන්නෙ.
අද වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා ඔහුට දඩුවම් නියම වෙලා තියෙනවා. ඒ දඩුවම නියම වන අවස්ථාව වන විට තවත් කතාබහක් තිබෙනවා. ඒ තමයි අගවිනිසුරුවරයාගේ ධූර කාලය දේශපාලන හේතු මත වසර දෙකකින් දීර්ඝ කිරීම.
දේශපාලකයන්ගේ මනදොළ පිරවීම සහ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘති උදෙසා ඔවුන් පසුපස ගොස් තනතුරු ලබාගන්නා හෝ විශ්‍රාම වයස දිගුකරගැනීම වැනි කවර හෝ වරප්‍රසාදයක් ලබාගන්න කවරෙක් හෝ පූජිත්ගේ මේ සිදුවීම සිතෙහි තබා ගත යුතු වෙනවා.”
ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමිනි.