ආණ්ඩුව විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන්න යද්දි, වයසට යද්දි පුස්තකාල සභාපතිකමවත් කරන්න බෑ කියා රත්න ශ්‍රී ගෙදර යයි…!

July 31, 2026 at 10:05 am | by emanisa.lk

ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ වයසට යන විට සිය වැඩකිරීමේ ධාරිතාව අඩු වන බව ප්‍රකාශ කරමින් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊයේ (30) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙත පැමිණි රත්න ශ්‍රී විජේසිංහ වැඩි දුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා හැටියට මා පත්කරනු ලැබුවේ 2024 දෙසැම්බර් 16 වෙනිදා. එතැන් සිට වසරකුත් මාස හතක කාලයක් මම අඛණ්ඩව ඒ තනතුරේ කටයුතු ආවරණය කරගෙන මගේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරගෙන ආවා.

නමුත් මට තේරෙනවා මගේ ධාරිතාව සහ මගේ පෞද්ගලික කායික ශක්තිය, ඒ වගේම වෙහෙස විඩාව තවදුරටත් දරාගන්න අමාරුයි කියලා. ඒ නිසා ඒ වගේ පෞද්ගලික හේතූන් නිසා මේ අගෝස්තු 01 වනදා සිට මේ තනතුරෙන් ඉවත් වන්නට තීරණය කළා. මගේ ඉවත්වීමට වෙනත් කිසිම හේතුවක් බලනොපෑ බව ඉතාම කාරුණිකව මතක් කරන්න කැමතියි.

මේ රජයත් ගරු ජනාධිපතිතුමාත් කෙරෙහි මා තුළ පැවති විශ්වාසයත් ගෞරවයත් එදා වගේම අංශු මාත්‍රයක්වත් නොවෙනස්ව පවතින බවත් ඉදිරියටත් රජයේත් මේ ආයතනයේත් කටයුතුවලට මගේ ශක්ති ප්‍රමාණයෙන් උදව් පදව් කරන්න මා සූදානම්ව සිටින බවත් කියන්නට කැමතියි. මොකද මේ මිනිස්සු වයසට යනකොට ඔවුන්ගෙ ධාරිතාව පටුවෙනවා, ඔවුන්ගේ ක්‍රය ශක්තිය අඩුවෙනවා.

දැන් රට දන්නෙ මාව ලේඛකයෙක්, කවියෙක් හැටියට. නමුත් ගතවූ කාලය තුළ මගේ නිර්මාණ ජීවිතය හුඟාක් දුරට අඩාල වුණා. ඇත්තටම කෙරුණේම නැති තරම්. දැන් මට විවේකය අවශ්‍ය බව මට දැනෙනවා. ඒ නිසා මම සාමාන්‍ය ජීවිතයට යන්න තීරණය කළා වෙනත් කිසිදු බැඳීමකට යටත් නොවී.
මට වඩා ධාරිතාවයෙන් පුළුල් ශක්තිමත් හොඳ සභාපතිවරයෙක් මේකට පත්වේවි. ඔහුට අවශ්‍ය සියලු උදව් කරන්න මම සූදානමින් ඉන්නවා. ඒ වගේම මේ රජය ගෙනියන අතිදැවැන්ත කාර්යයට මම ඈත ඉඳන් සුබපතනවා, අවශ්‍ය වූ විට ඔවුන්ට මගේ ශක්තිය පිරිනමන්න සූදානම්ව ඉන්නවා. බොහොම ස්තූතියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *