මෙරට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් මෙතෙක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27(2) යටතේ අද (11) පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර විනිසුරුවරුන්ට අමතරව වෙනත් වෘත්තිකයින් විසින් ද විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කර ඇති බවත් සඳහන් කර සිටියේය.
ලංකාවේ විනිසුරු විශ්‍රාම වයස අවු. 60ක් වුවද එංගලන්තයේ අවු. 75ක්ද කැනඩාවේ අවු. 75ක්ද ඕස්ට්‍රේලියාවේ අවු. 70ක්ද බ්‍රසීලයේ අවු. 75ක් වන බවයි, අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරන්නේ.
එම ඉල්ලීම් කෙරෙහි රජයක් ලෙස සාධනීයව සලකා බලන බවත් ලැබී ඇති ඇතැම් ඉල්ලීම් සාධාරණ වූව ද ඇතැම් ඉල්ලීම් දේශපාලනික බවත් සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බවද වැඩිදුරටත් සඳහන් කර සිටියේය.