සංවර්ධනය දකුණට විතරක් සීමා කර නෑ! එරාවුර් රෙදිපිළිපුරෙන් ඍජු රැකියා දාහක් දෙනවා! – විමල්

November 26, 2020 at 7:36 am | by emanisa.lk

මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දුන්නා සේම එරාවූර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයක් ඇරඹීමෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්මට අනුව යමින් සිදුකෙරෙන නැගෙනහිර ප්‍රදේශයේ රැකියා බහුල වාතාවරණයක් ඇති කිරීම වේගවත් වනු ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඔහු මෙසේ පැවසුවේ අද (25) එරාවූර් චෙන්කලඩි ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තපුරයත් ඇරැඹීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

“මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ රෙදිපිළි නිෂ්පාදන සඳහා විශේෂිත වූ කර්මාන්ත පුරයත් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දිගු කලක් තිස්සේ කටයුතු කරමින් සිටිනවා. නමුත් එය ප්‍රායෝගික දුෂ්කරතා රැසක් නිසා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ලැබුනේ නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව යමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ වියාලේන්ද්‍රන් ඇමැතිතුමන් ඇතුළු දේශපාලන නායකත්වය සිදු කළ ඉල්ලීම අනුව මෙම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම විශේෂිත කර්මාන්තපුරය ස්ථාපිත කිරීම සදහා වන යටිතල පහසුකම් වෙනුවෙන් මේ වසරට අප අමාත්‍යාංශයට රුපියල් මිලියන 750 ක් ලබා දී තිබෙනවා එම මුදල් මෙම කලාපයේ මාර්ග නවීකරණය, ජල විදුලි පහසුකම් වෙනුවෙන් වැය කිරීමට නියමිතයි. ඒ පිළිබඳව අද අදාළ නිලධාරීන් සමඟ වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි මෙම විශේෂ කර්මාන්ත පුරයට ඉතාම කඩිනමින් එම යටිතල පහසුකම් ලබාදුන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානමින් ඉන්නවා, රෙදිපිළි නිෂ්පාදනයට අදාළ කර්මාන්තකරුවන් සමග මෙම කර්මාන්ත පුරය ඇරඹීමට.

මෙම කර්මාන්ත පුරය ඇරඹීමත් සමගම පළමු අදියරේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ මෙම එරාවුර් ප්‍රදේශයේ දහසකට අධික තරුණ තරුණියන් පිරිසකට සෘජු රැකියා අවස්ථාවන් නිර්මාණය වෙනවා. යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ පාලනය තුළ මේ ප්‍රදේශවල යටිතල පහසුකම් වල සීග්‍ර සංවර්ධනයක් සිදු කළ හැකි වුණා. අද මෙම ප්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කරලා, රැකියා බහුල වාතාවරණයක් ඇති කිරීමට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පාලනය කටයුතු කරමින් සිටිනවා.

නැගෙනහිර ප්‍රදේශය තුළ මෙසේ වාලච්චේන කඩදාසි කම්හල යළි පණගැන්වීම මෙන්ම මෙම කර්මාන්තපුරය අරඹමින් ද උතුරු ප්‍රදේශයේ අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිත කර්මාන්ත ශාලාව පණ ගන්වමින්, ඔඩ්ඩුසුඩාන් හි උළු කර්මාන්ත ශාලාවත් පරන්තන්හි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තපුරයක් අරඹමින් ද අපේ පාලනය උතුරු – නැගෙනහිර රැකියා විරහිතභාවයට කඩිනම් විසඳුම් ලබා දෙමින් සිටින බව ද පැවසිය යුතුව තිබෙනවා.”

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස