කරුණා මිනි මැරීම අත්හැරියත් යහපාලකයන් රට බෙදීම අතහැරලා නෑ! – මහින්ද

June 29, 2020 at 2:28 pm | by emanisa.lk

නැගෙනහිර පළාත් හිටපු කොටි නායක කරුණා අම්මාන් මිනී මැරීම අතහැරියත් යහපාලකයන් රට බෙදීමේ උත්සාහය නම් අතහැර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මේ බව ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් පැවැත්වූ දේශනයේදීය.

“කරුණා අම්මාන් කොටි සංවිධානයේ සිටියදී හමුදා කඳවුරුවලට ගහලා සෙබළුන් දහස් ගණනක් මරපු බව කිව්වයි කියලා යහපාලන විපක්‍ෂය උඩ පනින හැටි අපි පහුගියදා දැක්කා.

ලොකු චිත්‍රය යටපත් කරලා, වෙන වෙන කාරණා ඉස්සරහට දාන්න කොයි තරම් ලේසිද කියලා ඒකෙන් පේනවා. 2005 නොවැම්බර් මාසයේ මම ජනාධිපති වුණාට පස්සෙ, අපි කොටි සංවි‍ධානය සහමුලින්ම විනාශ කරලා දැම්මා. කරුණා ඒ කාලේ ත්‍රස්තවාදයත්, බෙදුම්වාදයත් දෙකම අත්හැරලා කොටි සංවිධානයෙන් ඉවත් වෙලා යුද හමුදා බුද්ධි අංශයට යටත් වෙච්ච නිසා ඔහු කොටි සංවිධානයත් එක්ක විනාශ වුණේ නෑ.

ප්‍රභාකරන්ගේ මෘත දේහය හඳුනාගන්න අපි යැවුවෙත් කරුණා. කරුණා මෙන්න මෙහෙම කිව්වා, ඒ නිසා ඔබේ වටිනා ඡන්දය යහපාලන පාර්ශ්වයට දෙන්න කියලා ඉල්ලන කට්ටියගේ කෙරුවාව ගැනත් හොයලා බලන්න වටිනවා. මේ අය 1989 දී ත්‍රස්තවාදීන්ගේ හිත දිනාගන්න කියලා මෝඩ විදියට ආයුධ ලොරි ගණන්, මුදල් ගෝනි ගණන් කොටි සංවිධානයට දුන්නා. ඊට පස්සෙ කොටි අපිට ගැහුවේ ඒ ආයුධවලින්මයි.

කරුණා මිනීමරපු කාලයෙත්, ඊට පසුවත්, අද දක්වාම යහපාලන පාර්ශ්වයේ න්‍යාය පත්‍රයේ තියෙන්නේ මේ රට බෙදන එක. කරුණා මිනීමරන එක අත්හැරියත්, යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැරලා නෑ. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕන. කරුණා කිව්ව දේවල් ගැන දැන් කොහොමත් සී.අයි.ඩීයෙන් විමර්ශනයක් පැවැත්වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස