20ට එරෙහිව අදත් පෙත්සම් 21ක්! ස්වාධීන මැතිවරණ කොමිසේ හූල් ඒ අතර!

September 28, 2020 at 8:08 pm | by emanisa.lk

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (28) දිනයේ තවත් පෙත්සම් 21ක් ගොනු කෙරිණි. ඒ අනුව අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලු පෙත්සම් ගණන 39කි.

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් ද අද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ගොනු කර තිබිණි. ඔහු මෙයට පෙර මැතිවරණ පැවැත්වීමට එරෙහිව ද අධිකරණයට ගියේය. කෙසේ වුවද මහින්ද දේශප්‍රිය සඳහන් කළේ තමා තවමත් මැතිවරණ කොමිසමේ සාමාජිකයකු නිසා 19 හෝ 20 ගැන අදහස් දැක්වීමට නොයන බවය.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, සිරිලක ජනතා පෙරමුණ වෙනුවෙන් නීතිඥ පී. ලියනාරච්චි සෙසු පෙත්සම් ගොනු කළ පිරිසට සිටිති.

නීතිඥවරු සහ නීතිඥවරියෝ 20 දෙනෙක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විශේෂ පෙත්සමක් ගොනු කළහ. මෙම යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට හැකියාව ඇති බවත් ඒ තුළින් ජනතාවට එම පනත් කෙටුම්පත් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වන බව පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.

සියලු මෙම පෙත්සම් හෙට දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස