විපක්ෂයේ උත්සාහය පළ දරයි! මැතිවරණ කොමිසමේ ඉල්ලීමට ආණ්ඩුව එකඟවෙයි! ජුනි මාසයට රු. 5000 නෑ!

May 20, 2020 at 10:09 pm | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ලබා දෙන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්‍යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

රු. 5000 දීමනාව ජූනි මාසයේ ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බැවින් එය ජූනි මාසයේ ගෙවීම ගැන නැවත සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ජනාධිපති ලේකම් ආචාර්ය පී. බි. ජයසුන්දර වෙත ඉකුත් 17 වැනිදා ලිපියකින් දැක්වීය.

ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී එම ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, මෙය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින්, එය ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවත් කැබිනට් ප‍්‍රකාශයක ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය අනුව හැඟී යන්නේ, ලබන මාසයේ මැතිවරණ පැවැත්වීමට කොමිෂන් සභාවේ සුදානමක් ඇති බව යැයි කී ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන රු. 5000 දීමනාව ගෙවීම දේශපාලන ව්‍යාපෘතියක් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවට පෙනී යන්නේ නම්, එම දීමනාව ගෙවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට රජය අවශ්‍යතාවක් නැතැයි ද කීවේය.

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් පවුල් වෙත රජය ඉකුත් අප්‍රේල් සහ මැයි මාසයේ රු. 5000 ක දීමනාවක් ලබා දුන්නේ කිසිදු දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් නොවන බව කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව කී ඇමැතිවරයා එසේ තිබියදී මෙවැනි ගැටලුවක් මතු වන්නේ නම් එම දීමනාව ජූනි මාසයේ ගෙවීමට රජය සුදානම් නැති බව සඳහන් කළේය.

පීඩාවට පත් පවුල් සදහා රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේ ගෙවන ලද සහ මැයි මාසයේ ගෙවන රු. 5000 දීමනාව ලබන ජුනි මාසය සදහා ද ගෙවීමට රජය මීට පෙර තීරණය කර තිබිණී.

කොරෝනා වසංගතය නිසා දුෂ්කරතාවට පත් ජනතාවට රු. 5000ක දීමනාවක් ලබා දීම දේශපාලනික ව්‍යාපෘතියක් බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා කළ අතර මැතිවරණ කොමිසමට ද පැමිණිලි කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස