පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති විට මූල්‍ය බලතල ජනපතිට හිමියි! ඒ සඳහා ව්‍යවස්ථා ප්‍රතිපාදන වගේම වෙනම පනතකුත් තියෙනවා! – බන්දුල

May 11, 2020 at 8:38 am | by emanisa.lk

අයවැයකින් මුදල් වෙන්කර නොමැති අවස්ථාවකදී රජයේ වියදම් දැරීම සඳහා දේශීය හා විදේශීය ණය ලබාගැනීම් බලය ජනාධිපතිවරයාට හිමිවන විශේෂ ණය පනතක් පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

1982 අංක 40 දරන ණය විශේෂ විධිවිධාන පනත මගින් ජනාධිපතිවරයාට මෙම බලතල හිමි වී ඇතැයිද පෙර වසරේ අනුමත කළ ණය සීමාවෙන් හතරෙන් එකක මුදලක් අනුමත ණය ලෙස ලබාගැනීමේ නිත්‍යානුකූල අයිතිය මේ අනුව ජනාධිපතිවරයාට ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූල ලෙස විසිර වූ පසුව මුදල් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ද ජනාධිපතිවරයාට පවරා ඇතැයිද හෙතෙම කීවේය.

විසර්ජන පනත් කෙටුම්පතක් නීතිය බවට පත්වීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්නම් සහ ඒ වන විට රාජ්‍ය සේවා සඳහා මුදල් වෙන් කර නැත්නම් අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනයේ සිට මාස තුනක් වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කළ හැකි බවද ඇමැතිවරයා පෙරේදා (9) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

කොරෝනා වසංගතය නිසා අසරණ වූ ජනතාවට ජීවත්වීමට රු. 5000 බැගින් දෙවරක් ලබාදෙද්දී සහ රාජ්‍ය සේවකයන්ට වැටුප ගෙවද්දී ඒ සඳහා බාධක දමමින් විපක්ෂය රජයේ නිලධාරීන්ට තර්ජනය නොකර තහනම් නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවද ඇමැති බන්දුල ගුණවර්ධන කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස