වැලිසර නාවික කඳවුරේ සෙබලු 30කට කොරෝනා! නිවාඩු ගිය සෙබළු යළි කැඳවයි! කඳවුරම නිරෝධායනයට!

April 23, 2020 at 11:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සේවයේ නියුතුව සිටි නාවික හමුදා සෙබළුන් 30 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි නවතම වාර්තා වලින් තහවුරු වී තිබේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර ද සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 ක් වී තිබේ.

ඊයේ (22) රාත්‍රිය වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබූ අතර අද රාත්‍රී 9.00 වන විටත් ඊට එකතු වූයේ 8 දෙනෙක් පමණි. එහෙත් අද රාත්‍රී 9.20 ට පමණ එකවරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30 කින් ඉහළ ගියේය.

මෙසේ හමුවී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා, පසුගිය 17 වැනිදා පොලොන්නරුවේ සුභූති පුර පිහිටි තම නිවසට ගිය නාවික සෙබළා ඇසුරු කළ පිරිස අතුරින් 30 දෙනෙකි. මෙම තත්ත්වය මත වැලිසර නාවික හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම හුදෙකළා කර තිබේ.

පළමු ආසාදිත නාවික සෙබළා සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, පසුගිය දිනවල දී සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන්ට යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තා අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 368 කි.

මේ වනවිට 107දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. පුද්ගලයන් 7දෙනෙකු මිය ගොසිනි.

තවත් 173 දෙනෙක් වෛද්‍ය නිරීක්ෂණය යටතේ පසුවෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස