ලංකාවට පැමිණි තෙල් නැවේ 17කට කොරෝනා! නැවට ගිය ලාංකික නාවිකයන් 5ක් පවුල් පිටින් නිරෝධානයට!

September 28, 2020 at 8:35 am | by emanisa.lk

දැවි තෙල් තොගයක් රැගෙන චීන වරායේ පිහිටි ලංකා අයි.ඕ.සී. සමාගමට පැමිණි නෞකාවක සේවය කරන කාර්ය මණ්ඩලයේ දහහත් දෙනෙකුට කොවිඩ් 19 රෝග ලක්ෂණ පවතින බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් පෙරේදා (26) අනාවරණය වී ඇති බව තිරිකුණාමලය ප්‍රාදේශීය ​සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග ​වෛද්‍ය නිලධාරී වෛද්‍ය ටී. තිලෝජන් පවසයි.

ඉන්දියාවේ සිට කොළඹට දැවි තෙල් රැගෙන පැමිණ ඇති සිංගප්පූරුවේ ලියාපදිංචි ක්ලැරිටි නමැති මෙම නෞකාව ඉන්ධන මෙට්‍රික් ටොන් හාරදහසක් සමග ඉකුත් 25  වැනිදා පෙරවරුවේ තිරිකුණාමලය වරායට පැමිණ තිබේ.

නෞකාව තිරිකුණාමලය වරායට පැමිණීමෙන් පසුව එය පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරුන් එහි සේවය කළ එක් නාවිකයකුට උණ රෝග ලක්ෂණ පවතින බව තහවුරු කර ගැනීමෙන් පසුව එහි සේවය කරන සෙසු කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කර ඇත. පසුව එම වාර්තා ලැබෙන තෙක් නෞකාවේ කාර්ය මණ්ඩලය නෞකාව තුළම රඳවා ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් දැවිතෙල් නළ මාර්ග ඔස්සේ ගොඩබෑම සිදුකර තිබිණි.

පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසුව එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු කොවිඩ් 19 රෝගීන් බවට තහවුරු කර ගැනීමෙන් පසුව නෞකාව තිරිකුණාමලය වරායෙන් පිටත නවතා තැබීමට උපදෙස් දී ඇත.

මේ අතර රාජකාරි කටයුතු සඳහා කොළඹ වරායේ දී එම නැව තුළට ඇතුළු වූ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නිරෝධායනයට යොමු කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

නැවේ කා​ර්ය මණ්ඩලය කොවිඩ් 19 පළමු පරීක්ෂණයට යොමු කළ අවස්ථාවේ ඔවුන්ට වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබෙන බවත් අදාළ නැවට කොළඹ වරායේ දී ඇතුළු වූ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සබඳතා පවත්වා තිබෙන බැවින් ඒ අය නිරෝධායනයට යොමුකළ බවත් හෙතෙම පැවැසීය.

මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ නාවික පයිලට්වරු දෙදෙනකු, වෛද්‍යවරයකු ඇතුළු පස්​දෙනෙකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස