අතපසුවීම් යළි නොවන තැනට වගබලා ගනිමු! කොරෝනා මර්දනයට නොපසුබට ධෛර්යයෙන් වැඩ කළ යුුතුයි! – ජනපති

May 11, 2020 at 10:40 pm | by emanisa.lk

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් කොරෝනා මර්දනය සඳහා නොපසුබස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇති බවත්, සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

කොරෝනා මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (11) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇත.

වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතු බවද සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් දෙක පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වගබලා ගත යුතුව ඇතැයි ද ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

එමෙන්ම, නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය ක‍ළේය.

බස් රථ, ත්‍රීරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව අවධානයට ලක් කෙරිණ.

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක් පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක් කෙරිණ.

නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී තිබේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම් ද යළි ආරම්භ කළ යුතුය.

කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යයනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිතුමා මෙහිදී කාර්ය සාධක බලකායට අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස