මෛත්‍රී විස්සට ඡන්දේ නො දී මගහැර යාම වීරකමක් නෙමෙයි නිවටකමක්! ගෙවිඳු

October 28, 2020 at 5:37 pm | by emanisa.lk

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය දීම මගහැර යාම මත හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වීරයෙකු ලෙස හැඳින්වීම මෙරට ජාතික වීරයන්ට කරන නින්දාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සඳහන් කරයි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවල දී වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග සම අසුන් ගෙන සිටි හිටපු ජනාධිපතිවරයා එහි පවතින සීමා ඉවත් කර ගැනීම වෙනුවෙන් වචනයක් කතා නො කළ බවට ද ඔහු චෝදනා කරයි.

2015 ජනාධිපතිවරණ අපේක්ෂ ධුරය සඳහා තමා ලේකම් ධුරය දැරූ පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ මෛත්‍රීපාල සිරිසේන පසු දා මාධ්‍ය හමුවක් පවත්වා විපක්ෂයේ අපේක්ෂකයා බවට පත් වූ බව ද මන්ත්‍රීවරයා සිහිපත් කළේ ය.

එහෙත් ගැමුණු කුමාරයා සිය පියාට පවා විරෝධය ප්‍රකාශ කර රජ මැදුරින් පිටව ගිය බවත් වෙල්ලස්සේ කැරැල්ල මැඬලන්නට යැවූ කැප්පෙටිපොළ නිළමේ අනතුරුව සිංහලයින්ගේ පැත්ත ගත්ත ද සුදු පාලකයින් තමා විශ්වාස කොට ලබා දුන් ආයුධ සහ බල සේනා නැවත පිටත් කළ බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඓතිහාසිකව අපට උරුම කර දී තිබෙන එම වීරත්ව සම්ප්‍රදායට අනුව මඟහැර ගොස් පිටුපසින් පිහියෙන් ඇනීම වීරත්වයක් ලෙස හැඳින්වීමට නො හැකි බවත් නියම වීරත්වය නම් වරද පෙන්වා දී එය නිවැරදි කර ගැනීමට සටන් කිරීම බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

ගෙවිඳු කුමාරතුංග ඒෂියන් මිරර් නාළිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් මෙම අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස