දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා මන්ත්‍රීවරුන්ගෙන් පෙත්සමක්!

October 25, 2020 at 6:47 pm | by emanisa.lk

මරණ දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 20 වෙනිදා රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හමුවේ දී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල කාර්ය මණ්ඩලය විසින් මෙම පෙත්සමට මන්ත්‍රීවරුන්ගේ අත්සන ලබා ගෙන ඇතැයි Sunday Times පුවත්පත අනාවරණය කරයි.

මෙම මන්ත්‍රී හමුව අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඉහළ ආශීර්වාදය සහිතව සිදු වූ මෙම පෙත්සම් අත්සන් කිරීම මගින් ඉදිරියේ දී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දීමේ වැඩි ඉඩක් ඇතැයි තහවුරු වන බව එම පුවත්පත වැඩි දුරටත් අනාවරණය කරයි.

මේ සඳහා සියලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අත්සන තබා ඇතැයි ද වාර්තා විය. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී ඇමති විමල් වීරවංශ විසින් චෝදනා කළේ දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දුන්නේ රංජන් රාමනායකගේ කැලෑ උසාවියෙන් බවට ය.

සිය 19 හැවිරිදි ස්වීඩන් ජාතික පෙම්වතිය ඝාතනය කළ නිසා මරණ දඬුවම හිමි වූ ජූඩ් ශ්‍රාමන්ත ජයමහට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමාව ලබා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස