බිහිසුණු කොටි ත්‍රස්තවාදය පරාජය කළ විජයග්‍රහණයට වසර 11යි! ජාතික රණවිරු අනුස්මරණය හෙට!

May 18, 2020 at 9:11 am | by emanisa.lk

එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් රට එක්සේසත් කර අදට 11 වසරක් සපිරෙයි.

ඒ අනුව 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට (19) පස්වරු 04.00 ට පැවැත්වීමට නියමිතව ඇත.

යුද, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශප්‍රේමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එහිදී ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතය.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අනුගතව මෙම ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම, රණවිරු සේවා අධිකාරිය සංවිධාන කටයුතු කරනු ලබයි. ඒ සඳහා රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ගේ පිරිසකගේ ළඟම ඥාතීන් පිරිසක් ද එක්වීමට නියමිතය.

ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් 23,962 දෙනෙකු, නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 1,160 දෙනෙකු, ගුවන් හමුදාවේ වීරෝදාර රණවිරුවන් 440 දෙනෙකු සහ පොලීසියේ විරුවන් 2,598 දෙනෙකු මෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ විරුවන් 456 දෙනෙකු ද හෙට පැවැත්වෙන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුමේදී ගෞරවයෙන් සිහිපත් කිරීමට නියමිතය.

එසේම යුද හමුදාවේ සෙසු නිලයන් 14617කට උසස්වීම් ලබා දීමටද කටයුතු සූදානම් කර තිබේ.

කෙසේ වුවද පසුගිය ආණ්ඩු සමයේ දෙමළ ජනතාවගේ සිත රිදෙන බව සඳහන් කරමින් විජයග්‍රහණ සැමරුම් නතර කළ අතර රණවිරු සැමරුම් ද සීමා කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස