විමල්ගේ විරෝධය පාන්නේ බැසිල්ට නෙමෙයි! ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිවයි! – මහින්ද පතිරණ

October 9, 2020 at 12:09 pm | by emanisa.lk

ඇමති විමල් වීරවංශ දියත් කර ඇත්තේ බලලෝභී දේශපාලන ව්‍යාපෘතියක් බවත් එය තේරුම් නොගන්නේ නම් ආණ්ඩුවකට 2/3 නෙමේ ඊට වඩා බලයක් තිබුණ ද වැඩ කළ නොහැකි බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

ඔහු මේ පිළිබඳ තබා ඇති ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

“20 ගැන විමල් වීරවංශ ගෙන එන විරෝධය හුදු බැසිල් විරෝධයක් විතරක් නෙමෙයි. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් එල්ල කරවීම සඳහා කරන පළමු උත්සාහය කියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් විමල් වීරවංශට අවශ්‍ය වෙන්නෙ එදා මහින්දල එලවන්න චම්පිකල එළියට ගිහිං කරපු දේ අද ඔහුට ඇතුලෙ ඉඳල කරන්න.

මේක තමා විමල් එදා මහින්ද ආණ්ඩුවටත් කළේ. දැන් මේකට ඇතැම් “ජාතිකවාදීන්” කියන්නෙ “රට වෙනුවෙන් පෙනී ඉන්නව”. එහෙම නැත්නම් “වැරැද්ද වැරැද්ද විදියට බලනව” කියල. නිශ්චිත අර්ථකතන නැති, ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මේ වගේ ප්‍රකාශවලින් තමා විමල් වැනි විෂ බීජ ආණ්ඩු තුළ රෝග බෝ කරන්න පදිංචි වෙලාම ඉන්නෙ. ඒත් ඇත්තට ම කරන්නෙ තමන්ගේ දේශපාලනය අරමුණ වෙත යන්න ඇත්තට ම ජාතිකවාදි ආණ්ඩුව ගැන බොරු පතුරුවන එක.

මේ අය ඇතුලෙ ඉඳල ඇතුළෙ සංවේදි සියුම් සීරීම් කැපුම්වලට හෙමින් හෙමින් පැසවන්න ලුණු කුඩු දානව. ඔය ජවිපෙ කරන්නෙ. ඒකෙම අනිත් පැත්ත. එතකොට ඒ තැන් දැවිල්ල දාන්න ගන්නව. දැවිල්ල නොදාන 95%ක් දේවල් ගැන අර පුංචි සංවේදි තැන්වල දැවිල්ල නිසා අමතක වෙලා යනවා. එදා මහින්ද ආණ්ඩුව මේ රටේ ත්‍රස්තවාදය නැති කරල, ආර්ථිකය හතර ගුණයකින් ඉහළ දාල රට සාර්ව ස්ථාවරත්යක් ගොඩ නැගෙන කොටම විමල්ල කළේ අර පුංචි තැන්වලට ලුණු කුඩු දාන එක. රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධානතම නිලධාරියා ආර්ථික ඝාතකය කිව්වා. සමහරු මේක පිළිගත්තා.

විපක්ෂයට පුළුවන් වුනා විමල් ඇහිඳල දුන්න මේ ගල් අරගෙන ආණ්ඩුවට පෙරළා ගහන්න. ගොඩ නැගෙන රට වට්ටන්න අවශ්‍ය මුල්ම තල්ලුව දුන්නා. හැබැයි ඒ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් හැම දේම ගත්තා. ඊට පස්සේ ගූගල් වගේ සමාගම්වලට එරෙහිව වෛරි කැම්පේන් පටන් ගත්ත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහ ගිහිං උපවාස කළා. රට මොනතරම් අපහසුතාවට පත් වුණාද මේ ක්‍රියා හරහා. මේව සේරම කළේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදියට. එතකොට ජාත්‍යන්තරය මේව ගත්තෙ ආණ්ඩුව කරන දේවල් විදියට. එහෙම කරල මෙහෙ දේශීය ජනතාව තුළ ආණ්ඩුව ගැන සැක උපද්දවන අතර ජාත්‍යන්තය තුළත් විරෝධයක් හදනව. ඒක තමා ක්‍රමය.

දැනුත් පටන් අරගෙන තියෙන්නෙ ඒක. ඒක පටන් ගන්නෙ 20ට එල්ල කරන විරෝධය එක්ක. මේ ඊයේ පෙරේදා වෙනකල් ද්විත්ව පුරවැසි බව පිළිබඳ විමල්ල කවදාවත් විරෝධය දක්වල තියෙනවද? කවදාවත් නැහැ. ඕක ව්‍යවස්ථාවේ තිබුණද නැද්ද කියලවත් දන්නෙ නැහැ. දැනුත් ඕක තිබුණත් නැතත් එකයි කියල මොවුන් නොදන්නවා නෙමෙයි. මේකට විරෝධය එන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එනව කියන එක නම්, ඒකත් පදනම් විරහිතයි. බැසිල් මහතා පැහැදිලි ව කියල තියෙනව ඔහු පාර්ලිමේන්තු නොඑන බව.

ජනාධිපති කාර්යාලය විගණනයෙන් ඉවත් කළාය යන්න විමල්ල ගෙන එන ඊළඟ බොරුව. අගමැති මහින්දත් මේක පැහැදිලි කරල තිබුණ. ජනාධිපති හා අගමැති කාර්යාලය හැමදාම විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විගණනය වුණා. දැනුත් වෙනව. හෙටත් වෙනවා. සියලු රාජ්‍ය ආයතන වගේම ඒක ජනාධිපති හා අගමැති කාර්යාලයටත් අදාළයි. 20න් වෙලා තියෙන්නෙ ජනාධිපති හා අගමැති කාර්යාලය යන රාජ්‍ය ආයතන දෙක විශේෂයෙන් සඳහන් නොවීම. සියලු රාජ්‍ය ආයතන විගණනය විය යුතුයි කියල ව්‍යවස්ථාවේ තියෙනව නම් දෙකක් විතරක් නම්වලින් ම කියන්නෙ මොකටද?

විමල්ලාගේ මේ බලලෝභී දේශපාලනය තේරුම් නොගන්න තුනෙන් දෙක නෙමෙයි මොකක් තිබුණත් ආණ්ඩුවලට වැඩක් කරන්න බැහැ. විමල්ලට ඕනෙත් ඒකම තමා.”

මහින්ද පතිරණ FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස