බදියුදීන් සමග කිසිම ගනුදෙනුවක් නෑ! පාස්කු ත්‍රස්තවාදීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා! – ජනපති රටට සහතික වෙයි….

October 4, 2020 at 3:29 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග කිසිදු දේශපාලන ගනුදෙනුවක් රජයට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය රජය සමයේ මෙන් දේශපාලකයන්ට උවමනා ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ නිදහස් කිරීමට දේශපාලකයන්ට බලය දීමට තමා සූදානම් නොමැති බව ද ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කරයි. එම සමස්ත නිවේදනය මෙසේය.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.

මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.

2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතළ කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී. එම විභාග සහ පරීක්ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණවලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත. අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගනුදෙනුවක් (ඩීල් එකක්) අප රජය ඇති කරගෙන නොමැති බැව් අවධාරණය කරමි. මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේ දී ද එම විශ්වාසය තව දුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස