පොකුරුවලින් පිට සමාජයෙන් රෝගීන් සිය ගණනක් ආ බව වෛද්‍යවරු වාර්තා කළා! ආණ්ඩුව ඒ තොරතුරු ජනතාවට හංගනවා! – කිරිඇල්ල

July 15, 2020 at 11:56 am | by emanisa.lk

රජයේ මැතිවරණ කටයුතු හදිසියේ නවත්වා දැමුවේ කුමන හේතුවක් නිසාදැයි පැහැදිලි ප‍්‍රකාශයක් සිදුකළ යුතු බව සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවරදි විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රකාශ කළේය.

කොරෝනා යම්කිසි මට්ටමකට පාලනය කර ඇතැයි රජය පැවසූවත් තමා මීට පෙර සඳහන් කර පරිදිම රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නොමැති බවත් සත්‍ය තත්ත්වය ජනතාවට පැවසිය යුතුයැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

“අපි දුටුවා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරලා තිබුණා මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නවත්වා දැමීම පිළිබඳව. ආණ්ඩුව මැතිවරණ සටන අත්හැරලාද? මේක ප‍්‍රහේළිකාවක්. හදිසියේ මැතිවරණ සටන අත්හැරීමට බලපෑ සත්‍ය හේතුව කුමක්දැයි රජය ජනතාවට පැහැදිලි කල යුතුයි. ජනතාවගෙන් කරුණු හංගන්න එපා. අපි මුල සිටම පැවසූවා රජයේ සංඛ්‍යා ලේඛන පිළිබඳව කිසිදු විස්වාසයක් නැහැ කියලා. මම රූපවාහිනි වැඩසහනකදීත් මේ බව ප‍්‍රකාශ කළා. නමුත් රජය ප‍්‍රකාශ කළා සංඛ්‍යාලේඛන නිවැරදියි කොරෝනා දැන් පාලන මට්ටමක තිබෙන්නේ කියා. නමුත් එදා අපි කිව්ව දේ අද ඇත්ත වෙලා තියෙනවා.

රජය කුමක් පැවසූවත් අද කොරෝනා නැවත සමාජගත වෙලා තිබෙනවා. අපි දුටුවා අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරු ප‍්‍රකාශයක් නිකුත් කරලා තිබුණා තමන් පොකුරු රෝගින්ගෙන් පිට කොරෝනා රෝගින් සිය ගණනකගේ වාර්තාවක් රජයට ලබාදී තිබෙනවා කියා. නමුත් රජය එම වාර්තා ප‍්‍රතික්ෂේප කරලා තිබෙනවා. එම ප‍්‍රතික්ෂේප කිරිමෙන් පැහැදිලි වන්නේ රජයට මෙම තොරතුරු සැගවීමේ අවශ්‍යතාවක් තිබෙන බව. හොඳම උදාහරණය රජය මැතිවරණයට නාමයෝජනා කැඳවනතෙක් කොරෝනා අවදානම ගැන ජනතාවට පැවසූවේ නැහැ. නමුත් නාමයෝජනා භාරගැනීමෙන් පසු රට වසා දැමුවා. එදත් රජය නාමයෝජනා වෙනුවෙන් තොරතුරු සැගවූවා. අදත් රජය මැතිවරණය වෙනුවෙන් තොරතුරු සගවනවාද ?

සෙෘඛ්‍ය අමාත්‍යතුමිය වරෙක පැවසූවා අප්‍රේල් 19 කොරෝනා ඉවරයි කියලා. උපහාර උත්සව පවා පැවැත්වූවා. අපි එදා ඉදන්ම කිව්වේ මැතිවරණය කල් දාමු කියලා. නැවත පාර්ලිමේන්තු කැඳවලා මේ සෞඛ්‍ය වාර්තා ගැන විවාදයක් කරලා සංඛ්‍යාලේඛනවල සත්‍යතාව පැහැදිලි කරගමු කියා. නමුත් රජය ඇහුම්කන් දුන්නේ නැහැ. එදා රජය කිව්වේ අපි මැතිවරණයට බය නිසා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න උත්සාහ කරනවා කියලා. නමුත් අද රජය කිසිදු හේතුවක් පවසන්නේ නැතිව මැතිවරණ කටයුතු නවත්වලා.

ඒ වගේම මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමේ සෞඛ්‍ය උපදේශන මාලාව. ඇයි රජය මේක ගැසට් කරන්නේ නැත්තේ ? ගැසට් කළා නම් රජයට අවශ්‍ය විදිහට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න බැහැ. සෞඛ්‍ය උපදේශන මාලාව ගැසට් කළා නම් රජය වුණත් මැතිවරණ නීති කඩකළොත් මැතිවරණ කොමසාරිස්ට බලය තිබෙනවා මැතිවරණ නීතිය අනුව ඒ අයට විරුද්ධව කටයුතු කරන්න. මොකද ඒ යටතේ රැස්වීමකට සහභාගි කරවන්න පුඑවන් 100ක පිරිසක් පමණයි. අද ඒ නීතිය වැඩිදුරම කඩකරන්නේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි.

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස