පීඩක නීති ඉවත්කර ජනතාවට නිදහස ලබා දෙනවා! මගේ ධුර කාලය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂ කරනවා! – ජනපති

December 31, 2019 at 11:41 pm | by emanisa.lk

මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක් කෙරෙහිම ජනතා අතර වෛරයක් ඇති කළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධුර කාලයේදී අවසන් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දෛනික ජන ජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් පිරිසිදු ආයතන බවට පත්විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

රටේ පවතින විවිධ නීති සහ අවසර ගැනීම් බහුල වීම මගින් ජනතාව අනවශ්‍ය ලෙස පාලනය කර ඇති බවත් එමගින් රාජ්‍ය ආදායම් ලැබීම දුර්වල කර ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහතික කිරීමට නම් අනවශ්‍ය අණ පනත් සහ රේගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බව කියූ ජනාධිපතිවරයා සියලු රාජ්‍ය සේවාවන් සරල සහ ජනතාව අපහසුතාවට පත් නොවන ක්‍රමවේදයකින් ක්‍රියාත්මක විය යුතු බව කියා සිටියේය.

අල්ලස් ගන්නා අය මෙන්ම අල්ලස් දෙන අය ද නීතියේ රැහැනට හසුකර ගත යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා දූෂණ වංචාවලට සම්බන්ධ වන රාජ්‍ය සේවකයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවත් නැවත රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට ඉඩ නොතබන බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමග අද (31) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස