පාස්කු බෝම්බ සභාව එකිනෙකා පුම්බ ගන්නවා විතරයි! වහාම ස්වාධීන කොමිසමක් පත් කරන්න! – මහින්ද

August 8, 2019 at 10:42 am | by emanisa.lk

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනත් ස්වාධීන කොමිසමක් පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බව හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ පැවැසීය.

කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂ නායක නිල නිවසේදී ඊයේ (7) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන කතෝලික මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ නායකවරයා හමුවීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම පෙරේදා (06) සිදුවී ඇති සුරුවමකට පහරදීමේ සිද්ධිය ඇතුළු සිදුවීම් පිළිබඳවත් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බව විපක්‍ෂ නායකවරයා පැවැසීය.

විශේෂයෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේට, කාදිනල්තුමා ඇතුළු කතෝලික පියතුමන්ලාට, හින්දු පූජකවරුන්ට සහ මුස්ලිම් මවුලවිවරුන්ට අපහාස කරන කිසිවකු දේශපාලනයට සම්බන්ධ කර නොගතයුතු බවත්, එවැනි පුද්ගලයන්ට වහාම දඬුවම් කිරීමට පක්‍ෂ නායකයන් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

තම පක්‍ෂයේ කිසිවකුට ආගමික නායකයන්ට අපහාස කිරීමට ඉඩක් නොතබන බවත් දේශපාලනඥයන් හික්මීමකින් යුතුව කටයුතු කළයුතු බවත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

තේරීම් කාරක සභාවේ පරීක්‍ෂණ සිදුවන ආකාරය බැලීමේදී එක් එක්කෙනා පුම්බා ගැනීමේ කාර්යයක් හැර ස්වාධීන පරීක්‍ෂණයක් කෙරෙන බවක් පෙනෙන්නට නැති බවත් හෙතෙම පැවැසීය.

පාස්කු සිද්ධිය සිදුවී මාස තුනකට වැඩිකාලයක් ගතවී ඇති බවත් ඒ සඳහා පරීක්‍ෂණ කිරීමට මෙතරම් කාලයක් යාමට ඉඩ නොහැර ඒ පරීක්‍ෂණ කඩිනම් කළයුතු බවත් පරීක්‍ෂණ ප‍්‍රමාදවීම පිළිබඳව කාදිනල්තුමා ඇතුළු ආගමික නායකයන් අප‍්‍රසාදය පළකරන බවත්, එම අප‍්‍රසාදය ආණ්ඩුවට පමණක් නොව විපක්‍ෂයටද එල්ලවන බවත් පැවැසූ විපක්‍ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණ කඩිනම් කරන ලෙසට බලකර සිටින බවත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, නිමල් ලංසා, අරුන්දික ප‍්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ හා සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස