පාස්කු දා ලංකාවට එල්ල වූයේ ලොව දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයයි! එහෙත් බුද්ධි අංශ කලින්ම හෙළිකළ එම ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා! – අගමැති

April 21, 2020 at 8:26 am | by emanisa.lk

යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උට්ඨානය සමරමින් පල්ලිවල රැස් වී සිටි බැතිමතුන් ඉලක්ක කර ගෙන පසුගිය වසරේ පාස්කු ඉරු දින එල්ල වු බෝම්බ ප්‍රහාරය ආසියානු මෙන්ම ලෝක මට්ටමින් ද එල්ල කෙරුණු දරුණුතම ප්‍රහාරය බව අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාස්කු දිනය යෙදී ඇති අද (21) දිනයේ දී පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ, ආබාධිත තත්ත්වයට පත්වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් අගමැතිවරයා ඉල්ලා සිටියි.

පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නොවන නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය, බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද සමයේ අත්දුටු ප්‍රහාරවලට වඩා වෙනස් බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධවෙන දිනය, ඉලක්ක ස්ථාන, සහභාගි වන ත්‍රස්තවාදීන්ගේ නම්, ලිපින, හැඳුනුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශ විසින් කල්තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණු බැවින් එම ප්‍රහාරය පහසුවෙන්ම වළක්වාගත හැකිව තිබූ බවත් රාජපක්ෂ පැවසීය.

පසුගිය වසරේ පාස්කු ඉරිදා දවසේ, ඒ කියන්නේ 2019 අප්‍රෙල් 21 වැනිදා, ක්‍රිස්තියානි පල්ලි තුනකටත් කොළඹ ප්‍රධාන පෙ⁣ළේ හෝටල් තුනකටත් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මියගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාලවුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් ක්‍රිස්තුස් වහනිසේගේ උට්ඨානය සමරන්න පල්ලිවලට රැස්වෙලා හිටපු බැතිමතුන්. මේක ආසියාවේ විතරක් නෙවෙයි, ලෝක මට්ටමෙනුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. අද ජාත්‍යන්තර මතකයේ තියෙන 1995 ටෝකියෝ නුවර විෂ වායු ප්‍රහාරය, 1995 ඔක්ලහෝමා බෝම්බ ප්‍රහාරය, 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය, 2008 මුම්බායි ප්‍රහාරය වගේ සිද්ධීන් ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් විනාශකාරී ඒවා නොවෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් වින්දිතයෙක් අවුරුද්දකට ආසන්න කාලයක් ජීවිතය වෙනුවෙන් සටන්කරලා මෑතකදී මියගියා. ඇතැම් තුවාලකරුවන් තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා යැයි අග්‍රාමාත්‍යවරයා කීවේය.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් තම නිවාසවල පහනක් දල්වන ලෙස සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙන අතර පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ, ආබාධිත තත්ත්වයට පත්වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස රාජපක්ෂ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස