නැවත උද්ඝෝෂණ කළොත් විරෝධතාකරුවොයි පොලිසියයි නිරෝධායනයට!

June 12, 2020 at 9:25 am | by emanisa.lk

කොරෝනා අවදානම නොතකා මින් ඉදිරියට උද්ඝෝෂණ වැනි දේ පැවැත්වුවහොත් පහරදීම් වැනි දෙයින් බැහැරව එම විරෝධතා පාලනයට යොදවන පොලිස් හෝ හමුදා නිලධාරීන් මෙන්ම ඒවාට සහභාගි වන සියලු පාර්ශ්ව නිරෝධායන ක‍්‍රමවේදය යටතේ දින දහහතරක හෝ විසිඑකක නිරෝධායන ක්‍රියාවලියකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඇමරිකාවේදී ඝාතනයට ලක්වූ ජොර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පා පසුගියදා පෙරටුගාමී පක්‍ෂය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම පිළිබඳ පෙරේදා (10) රැස්වූ ඇමැති මණ්ඩල රැස්වීමේදී විශේෂයෙන් කතාබහට ලක්වී ඇත.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් මෙවන් තත්ත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි ඇමැති මණ්ඩලයෙන් කළ විමසීමකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ (11) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කොල්ලූපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදී පැවති මෙම විරෝධතාවේදී පොලිසිය පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයේදී මුලින්ම පහරදීම සිදුකරනුයේ විරෝධතාවට එක්වූ පිරිස් බව වීඩියෝ සාක්‍ෂි මගින් තහවුරු වී තිබෙන බව මෙහිදී කී ඇමැතිවරයා එය මුළුමනින්ම දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුමක් මිස රජයේ වුවමනාවට සිදු නොවූවක් බවද අවධාරණය කළේය.

කෙසේ වෙතත් මෙහිදී සිදු වූ පහරදීම ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය ප‍්‍රධාන රජය තරයේ හෙළා දකින බවද බන්දුල ගුණවර්ධන පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස