දුටු ගැමුණු රජ්ජුරුවන්ටත් ගම දියුණු කරන හැටි අපෙන් ඉගෙන ගන්න පුළුවන්!

June 22, 2019 at 8:51 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවැති “ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත” පසුගිය සතියේ ඉවත් කළ නිසා බියෙන් සැකෙන් තොරව දේශීය හා විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

මෙම පනත යටතේ පුද්ගලික ආයෝජකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හැකියාව තිබූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව බියක් ආයෝජකයන් තුළ පැවැතිය බවත් පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ හේතුවෙන් ආර්ථික සංවර්ධන පරමාර්ථ ඉටු නොවූ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (22) දින පෙරවරුවේ මොණරාගල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වලින් අනතුරුව පැවැති උත්සවයේදීය.

“2015 සිට අපේ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා. මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක කර්මාන්ත කලාප ඉදිකිරීම සඳහා අක්කර 13,000 – 14,000ක් පමණ වෙන් කර තිබෙනවා.

එදා කටුනායක, බියගම, සීතාවක, කොග්ගල ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන කර්මාන්ත කලාප ඇති කළා. අපේ මීළඟ පියවර වන්නේ බියගම කර්මාන්ත කලාපය වැනි කර්මාන්ත කලාප 50 ක් ඉදිකිරීමයි.

දැන් දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ඇවිල්ලා අපෙන් ඉගෙනගන්න පුළුවන් කොහොමද ගම්මාන, ප්‍රදේශ දියුණු කරන්නේ කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස