ආසාදිතයින්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම යෝජනා කළේ මමයි…! උද්දච්ච ආණ්ඩුවට එදා ප්‍රතික්ෂේප කළත් අද මගේ යෝජනාව පිළිගන්න වෙලා…! – පාඨලී….

August 13, 2021 at 9:00 pm | by emanisa.lk

ආණ්ඩුව කොවිඩ් වසංගතයට මුල සිට ම මුහුණ දුන්නේ ඉතා ම අවිද්‍යාත්මක ස්වරූපයෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා විසින් කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මෙසේ පැවසීය.

ඉතාම ශීඝ්‍රයෙන් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වැඩිකරමින් අද දවස රට තුළ පැතිරෙන කොරෝනා රෝගය එහි ආසාදන වේගය සහ ස්වරූපය අනුවඩෙල්ටා ප්‍රභේදය බවට විශේෂඥවරු තහවුරු කරති. ආසාදිතයන් සංඛ්‍යාව ඉහල යාමත් සමගම රෝහල් ගතවන සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහල යාමෙන් සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වෙහෙසට පත්වී රෝගී සත්කාර සේවාවන් අඩපණ වන්නට ආසන්න තත්වයට ලඟා වී ඇත.

මේ අතර රජය රජය කරමින් සිටින්නේ විශාල ප්‍රචාරයක් ලබා දෙමින්, මහජනයා එක තැනකට විශාල වශයෙන් ඒකරාශී කරමින් සැණකෙලියක ස්වරූපයෙන් එන්නත්කරණය සිදුකරමින් තමන් නිවැරදි ආකාරයෙන් වසංගතයට මුහුණ දෙමින් සිටින්නේය යන ව්‍යාජ මතය සමාජගත කිරීමට උත්සාහ කිරීමය. ඒ සමගම විවේචකයන් කියන තරම් ගැටළුව උග්‍ර නැති බවටත්, එන්නත්කරණය සිදු කිරීමත් සමගම ගැටලුව අවසන් බවටත්, එසේම රෝගය පැතිරෙන්නේ තම වරදකින් නොවන බවටත් ඒත්තු ගන්වන්නට ඔවුහු උත්සාහ කරමින් සිටිති. නමුත් විශේෂඥයන් පැහැදිලිව පෙන්වා දෙන්නේ ඩෙල්ටා පිපිරුම සිදුවූයේම ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වරදකින් බවත් එසේම රජය තවමත් කළ යුතු හා නොකළ යුතු දේවල් තේරුම් බේරුම් කරගෙන නොමැති බවත් එසේම රජයේ වත්මන් පිළිවෙතින් ගැටළුව තවත් උග්‍ර වීමට ඉඩ ඇති බවත්ය.

2019 වසරේ අග භාගයේ කොරෝනා රෝගය ආරම්භ වී පසුව එය ලොව පුරා භයානක ලෙස ව්‍යාප්ත වුවත්, 2020 වසරේ අග වන විට එයට මුහුණදිය හැකි ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපයක්ම සාර්ථකව අත්හදා බැලීම හරහා ලොව පුරා කොරෝනා මර්දනය නව මානයකට හැරෙමින් පැවතින. ඊට සමගාමීවම වසංගතයේ සෞඛ්‍ය සහ ආර්ථික පැතිකඩයන් සාර්ථකව කළමනාකරණය කිරීම පිළිබඳව තාර්කික සහ විද්‍යාත්මක ක්‍රමෝපායන්ද වර්ධනය කර ගැනුනි. පසුව නව කොරෝනා රැලි මතුවුවද, විද්‍යාත්මක දැනුම, අත්දැකීම් සහ තර්කබුද්ධිය භාවිත කිරීමට බොහෝ රටවල ආණ්ඩු මැලි නොවූයෙන්, ක්‍රම ක්‍රමයෙන් තම රටවල් ස්ථාවර කර ගැනීමට ඔවුහු සමත් වූහ. අද ලෝකයේ අතිබහුතරයක් රටවල් සිටින්නේ කොරෝනා වසංගතයෙන් මිදෙමිනි. නමුත් අපේ රටේ තත්ත්වය කුමක්ද? ශ්‍රී ලංකාව දැන් සිටින්නේ වැඩිම මරණ අනුපාතය වාර්තා කරන රටක් වශයෙනි. ඒ සමගම ජාතික වශයෙන්ද, පෞද්ගලිකවද බිඳ වැටෙන ආර්ථිකයෙන් පහර කෑමටද අපේ ජනතාවට සිදුව ඇත.

සමස්ත වසංගත කාලය පුරාම රජය හැසිරී ඇත්තේ අවිද්‍යාත්මක සහ වගකීම්විරහිත ආකාරයකිනි. ආරම්භයේදීම රට වසන්නට යැයි විශේෂඥයන් ආයාචනය කරත්දී “ලෙඩ්ඩු 28 දෙනෙකුට රට වහන්නේ මොකටද”යි ජනාධිපතිවරයා උපහාසයෙන් ප්‍රශ්න කළේය. ඉන්පසුව රට වැසුවත් ඒ වැසුවේ අවිද්‍යාත්මකව බැවින් රෝගය පාලනය වනවා වෙනුවට සිදු වූයේ අහිංසක මිනිසුන්ගේ ආර්ථිකය විනාශ වීම පමණකි. රටවිරුවන්ට වැහුණු රට බ්‍රැන්ඩික්ස් ආයතනයට නොවැසුනෙන් මිනුවන්ගොඩ පොකුර නිර්මාණය වීමත්, ගජමිතුරන්ට ව්‍යාපාර කරන්නට ඉඩදීමෙන් යුක්රේන් පොකුර නිර්මාණය වීමත් ආණ්ඩුවේ කොවිඩ් මර්දනයේ ස්වභාවය පෙන්වන

එපමණක් නොවේ. මුළු සබුද්ධික ලෝකයම වසංගතයට විසඳුම, විද්‍යාව තුළින් සොයත්දී අපේ ආණ්ඩුව කළේ පැණි, හට්ටි හා මුට්ටි මගින් වසංගතය පාලනය කළ හැකිය යන මිත්‍යාව වපුරමින් සමාජයම නොමග යැවීමය. මුළු ලෝකයේම කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස මෙබඳු ව්‍යාජ ඖෂධයක් ආණ්ඩුව විසින් නිර්දේශ කර රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රචාරය කළේ ශ්‍රී ලංකාව හැරුණු විට මැඩගස්කරය පමණකි. මේ මිත්‍යාවේ ගිලුණු ආණ්ඩුව එන්නත් මිලදී ගැනීම භයානක ලෙස ප්‍රමාද කළේය. එක අතකින් එසේ මිත්‍යාව ප්‍රචාරය කරමින් එන්නත ප්‍රමාද කිරීමෙහිත්, අනෙක් අතට විද්‍යාත්මක සහ සැමට සමාන ලෙස “ලොක්ඩවුන්” කරන්නට අසමත් වීමෙහිත් ප්‍රතිඵලය වූයේ, මුළුමහත් සමාජයම කොවිඩ් රකුසාට ගොදුරු වීමය. ඒ අනුව ලෝකයේ හොඳටම කෝවිඩ් පාලනය කළේ තමන් යැයි පුරසාරම් කියමින්, බොරු සංඛ්‍යා දත්ත පෙන්වමින් සිටින අතරතුර ඇත්තටම සිදු වූයේ, අපේ අහිංසක මිනිසුන් ඉරිදිපිට මරණයේ දොරුටු විවර වීමය.

අද දහස් ගණනකට මාරු කැඳවමින් තිබෙන ඩෙල්ටා ප්‍රභේදය රට තුළට ආවේ, ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරා වන උදයංග වීරතුංග විසින් ගෙන්වන ලද රුසියානු සංචාරකයන්ගෙන් බව බොහෝ විද්වතුන්ගේ අදහසයි. තම රටට ඩෙල්ටා ප්‍රභේදය පැමිණියේ රුසියානු ගුවන්යානයක මගීන්ගෙන් බව චීනයද සොයාගෙන ඇත. තම ඥාතීන්ගේ සංචාරක ජාවාරම් වෙනුවෙන් ආණ්ඩුව දහස් ගණනකට මරණය හිමි කර දී තිබෙන බව පැහැදිලිය. රුසියානු සංචාරකයන් දෙතුන් සීයක් ගෙන ඒමෙන් රට අත්වන වාසිය කුමක්ද? ඒ සොච්චමෙන් ලංකාවේ ආර්ථිකය නංවන්නට හෝ විනිමය අර්බුදය ජය ගන්නට හැකිද? මෙබඳු භයානක වසංගත සමයක මෙයාකාරයේ වගකීම් විරහිත සහ අනුකම්පා විරහිත හැසිරීමක් කිසිදු ශිෂ්ට සම්පන්න රටක ආණ්ඩුවක් විසින් ප්‍රදර්ශනය කර නැත.

මේ සියල්ල සිදු වීමෙන් පසුව දැන් රජය හැසිරෙමින් සිටින්නේ ඊටත් වඩා වගකීම් විරහිත ආකාරයකටය. එක අතකින් ප්‍රමාද වී ගෙන්වා ගත් එන්නත දැන් ලබා දෙමින් සිටින්නේ කිසිදු ප්‍රමුඛතා අනුපිළිවෙලකට නොවේ. එන්නත පළමුව ලබා දිය යුතු වන්නේ වැඩිම මරණීය අවදානමක් සහිත පිරිස් වන වයස්ගත සහ නිදන්ගත රෝග සහිත වූවන්ටය. වසංගත ජයගනිමින් තිබෙන සියලු රටවල් අනුගමනය කළ ක්‍රමය එයයි. නමුත් පසුගියදා හෙළි වූයේ රටම වේගයෙන් එන්නත්කරණය කරමින් තිබෙන බවට ආණ්ඩුව උදම් අනමින් සිටියත්, වැඩිම මරණීය අවදානම දරන අයගෙන් එන්නත ලැබී ඇත්තේ සුළු පිරිසකට බවයි. මිය යමින් සිටින පිරිසෙන් අතිබහුතරය මේ කාණ්ඩයට අයත් නමුත් එන්නත නොලැබුණු පිරිස වීමෙන් ආණ්ඩුවේ එන්නත්කරණයෙහි ඇති අවිධිමත් හා අවිද්‍යාත්මක බව හෙළි වෙයි.

එසේම එන්නත ලබා දිය යුතු ක්‍රමවේදය ලෙස සැලකෙන්නේ, කුඩා ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින්, හැකිතාක් විමධ්‍යගත ලෙස, ප්‍රාදේශීය ලෙස එන්නත ලබා දීමයි. විශේෂයෙන්ම මෙසේ පිපිරුමක තත්වයෙන් රෝගය ව්‍යාප්ත වන අවදියක, අද ලංකාවේ කෙරෙනවාක් මෙන් එක ස්ථානයකට දුර බැහැර සිට පැමිණෙන දහස් ගණන් එක් රැස් කර, සැණකෙළි ස්වරූපයෙන් එන්නත ලබා දීම විශේෂඥයන් කිසිසේත් අනුමත කරන්නේ නැත. එන්නත ලබා දීමෙන් පසුව ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වීමට සති ගණනාවක් ගත වන බැවින්, මෙසේ දහස් ගණන් එක්රැස් කර එන්නත්කරණය කිරීමෙන්, රෝගය පාලනය වනවා වෙනුවට නව එන්නත් පොකුරක් සෑදී තවත් මහා ව්‍යසනයකට පාර කැපෙන්නට ඉඩ ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

රජය කොතෙක් වගකීම් විරහිතද යන්න පෙන්වන තවත් අවස්ථාවක් වන්නේ සියලුම රජයේ සේවකයන් සේවයට කැඳවීමට පසුගිය සතියේ රජය ගත් හදිසි තීන්දුවයි. ඒ කොවිඩ් සිව්වන රැල්ල ලෙස ඩෙල්ටා පිපිරුම සිදුවෙමින් තිබෙන අතරතුරය. ගුරු වර්ජනය නවතා ගැනීමේ කෙටි කාලීන දේශපාලන වුවමනාව වෙනුවෙන් ආණ්ඩුව, කොරෝනා වසංගතයේ භයානක අනතුර නොසලකා හැරියේය. එක සතියක් තුළ සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් චක්‍රලේක තුනක් නිකුත් කෙරිණි. විශ්වවිද්‍යාල හා පාසල් වසා දමා තිබෙත්දී පවා, කිසිදු තේරුමක් නොමැතිව ඒවායෙහි සියල්ලන්ට සේවයට එන්නට බල කෙරිණි. ඒ අනුව පැහැදිලි වූයේ කොවිඩ් රැලි එන්නේ සහ යන්නේ හුදෙක් ආණ්ඩුවේ දේශපාලන වුවමනා එපාකම් අනුව පමණක් බවයි.

මේ සියල්ලට හේතුව ආණ්ඩුවේ කොරෝනා මර්දනය හුදෙක් තවත් එක දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් විනා වෙනත් දෙයක් නොවීමය. අද අප මුහුණ දෙමින් ඇති භයානක ඛේදවාචකයෙහි පළමු වගඋත්තරකරුවා ආණ්ඩුවයි. දෙවන වගඋත්තරකරුවා ආණ්ඩුව විසින් පත්කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායයි. පසුගිය කාලයේ පත්කළ මෙවැනි සියලු කාර්ය සාධක බලකා පිළිබඳ විමසා බැලීමේදී පෙනී යන්නේ ඒවා නියම විශේෂඥයන් වෙනුවට රජයට සමීප අන්තේවාසිකයන්ගෙන් සැදුම් ලත් අකාර්යක්ෂම ආයතන බවයි. ඒ අනුව මේ “විකාර සාධක බලකා” වෙනුවට දැන්වත් ඒ ඒ ක්ෂේත්‍රවල ඇත්ත විශේෂඥයන්ට ඒවායෙහි වගකීම් භාර දිය යුතුය. විශේෂයෙන්ම කොරෝනා වසංගතය මේ රටේදී මහා විනාශකාරී ඛේදවාචකයක් බවට පත් කිරීමෙහිලා ප්‍රධාන වග උත්තරකරු වන, කොරෝන කාර්ය සාධක බලකාය දැන්වත් විසුරුවා හැර මේ රටේ සෞඛ්‍ය අංශවලට ඒ පිළිබඳ නායකත්වය සහ වගකීම පැවරීම නොපමාව සිදු කළ යුතුය.

මේ සමගම මතක් කළ යුතු තවත් දෙයක් තිබේ. එනම් 2021 මැයි 21 දින අප විසින් විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සකස් කළ කොරෝනා මර්දන වැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කළ බවයි. රජය උදම් අනමින් සිටින අතරතුර මෝදු වෙමින් පවතින අනතුර අපි කල්තබා දුටුවෙමු. අනතුරු ඇඟවීමෙන් හා විවේචනයෙන් නොනැවතී සවිස්තරාත්මක විසඳුම් යෝජනාවලියක් අප එදා ඉදිරිපත් කළෙමු. නමුත් රජයේ අමනොඥභාවය සහ උද්දච්ඡභාවය නිසා එහි කරුණු පිළිගන්නට හෝ ඒවා ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව ක්‍රියා කළේ නැත.
ශීඝ්‍රයෙන් රෝගීන් වැඩි වෙන බැවින් ඊට පිළියම ලෙස අප එදා යෝජනා කළේ රෝගීන් “නිවෙස් තුළ තබා කළමනාකරණය කිරීම” යි (Home based management). අප එදා ඒ යෝජනාව ඉදිරිපත් කළේ අපේ සෞඛ්‍ය සේවයේ ධාරිතාව විද්‍යාත්මකව ගණනය කරමින් සහ ඒ හා සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ හා ජාත්‍යන්තර අත්දැකීම් සැලකිල්ලට ගනිමිනි. නමුත් අප යෝජනා කළ විද්‍යාත්මක වැඩපිළිවෙල වෙනුවට රජය කළේ අප්‍රායෝගික සහ අවිද්‍යාත්මක “අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන” නම් වූ තාවකාලික රැඳවුම් ගාල් මහා ප්‍රචාරයක් දෙමින් ආරම්භ කිරීමයි. ඒවාට අද අත්ව ඇති ඉරණම අපි දනිමු.

ඒ අතර සඳුදා සිට තමන් රෝගීන්ව නිවෙස් තුළ තබා කළමනාකරණය කිරීම ආරම්භ කරන බව රජය පසුගිය සිකුරාදා නිවේදනය කළේය. ඒ රෝගීන් උතුරා යන්නට පටන් ගත්විට වෙන කරන්නට දෙයක් නැතිව ගත් පියවරක් විනා කිසිදු සූදානමක් හෝ වැඩපිළිවෙලක් සහිතව ආරම්භ කළ දෙයක් නොවේ. අප එදා යෝජනා කළ දවසේ එය ආරම්භ කළා නම් අදවන විට එය විධිමත් වැඩපිළිවෙලක් බවට පත්වන්නට නියමිත විය. අද කොරෝනා රෝගීන්ට සිදුව ඇත්තේ ගරා වැටුණු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ උතුරා යන රෝහල් යන දෙකෙන් එකකටවත් යා නොහැකිව, කිසිදු විධිමත් සෞඛ්‍ය වැඩපිළිවෙලකින් තොරව ගෙදරට වී අසරණව සිටින්නටය.

ඒ අනුව සුපුරුදු උද්දච්ඡභාවයෙන් මිදී දැන්වත් විධිමත් හා විද්‍යාත්මක කොරෝනා මර්දන වැඩපිළිවෙලක් අරඹන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එන්නත්කරණය සැණකෙළියක් බවට හෝ කොරෝනා මර්දනය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමෙන් රටට හෝ ජනතාවට අත්වන සෙතක් නැත.

ඒ අතරම මේ දුෂ්කර අවස්ථාවෙහි සිය යුතුකම හා වගකීම නොපිරිහෙලා ඉටුකරන සියලු සෞඛ්‍ය සේවකයන්ටත් එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සියලුම නිලධාරීන්ටත් අපගේ ගෞරවණීය ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමු.

– Media unit

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස