මම තව දුරටත් රනිල් විරෝධියෙක් නෙමෙයි….! අද සජිත් වටේ ගොට්ටෝ පොරකනවා…! – සජිත් පිලේ ප්‍රබලයාලා පිම්මකට සූදානම් …

June 27, 2021 at 11:34 am | by emanisa.lk

සමගි ජන බලවේගය නිර්මාණය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකළ අයකු මෙන් ප්‍රබල රනිල් විරෝධීයෙකු මෙන් ම හිටපු අමාත්‍ය පාඨලී රණවකගේ 43 වන සේනාංකයේ න්‍යායාචාර්යවරයෙකු වන ශිරාල් ලක්තිලක සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකි.

මම දැන් රනිල් විරෝධී නැත!
හැබැයි නැවත රනිල්ගේ ඔඩොක්කුවට යන්නේ ද නැත!
රනිල් හා එජාපය අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජයගැනීමටය!

අප විසින් රනිල් මහතා පාර්ලිමේන්තුවේ දී දැක්වු අදහස් පිළිබඳව ප්‍රසාදයෙන් කතා කිරීම පිළිබඳව ඇතමුන් කුපිතවී ඇති බවක් ඊට බුකියේ දැක්වු ප්‍රතිචාර තුලින් පෙනෙන්ට තිබේ.

මම අදටත් රනිල් සම්බන්ධව විසම්මුතිකයෙකි. එසේම රනිල්ට පක්ෂව කතා කොට සජිත්ට විරුද්ධ වීමට හෝ රනිල් හා සජිත් කොටවා චම්පිකට වාසියක් ලබා දීමට මගේ කිසිදු බලාපොරොත්තුවක්ද නැත.

එසේම ඇතමුන් කියන පරිදි අප විසින් මා මෛත්‍රී ජනාධිපති සමග කටයුතු කරන සමයේ මෛත්‍රී රනිල් කෙට වීමට කිසිදා කටයුතු කර නැත. පිරිමියකු හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන අදහස් දරන්නකු වන මම එවැනි කුඨ ක්‍රියාවල යෙදී නැත.

මා දේශපාලනයේ යෙදෙන්නේ ද අදහස් දක්වන්නේද වාසි තකා නොවේ. අනාගතයටත් එය එසේමය.
දේශපාලනය විචාරකයකු ලෙස අප සිදු කළේ රනිල් මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවේ හරය අගයීමට ලක් කිරීම පමණකි.

මගේ විචාරනයට අනුව රනිල් මතු කළේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්න දෙකකි. එය වර්ථමාන දේශපාලනයේ හරයට සම්බන්ධ වන ප්‍රකාශ දෙකක් වන බව අපගේ හැඟීම වන්නේය.

රනිල්ගේ ප්‍රකාෂයේ පලමු හරය ලෙස ඉදිරියට ගතහැක්කේ ඔහුගේ පහත ප්‍රකාෂයෙනි:
1. රට බංකොලොත්වෙන්න යනව නම් IMF එකත් එක්ක කතා කරන්න එහෙම නැතිනම් විකල්පය දක්වන්න.
සැබවින්ම ගත් කල රට බංකොලොත්විම තව මාස ගණනනාවක් පිළිබඳ ප්‍රශ්නයක් නම් (අප එසේ සඳහන් කරන්නේ අතිශය කම්පාවෙන් යුතුවය) අප ඉන් මිදීමට ඇති මග පිළිබඳව වගකිව යුතු පුරවැසියන් ලෙස කතිකාවක් ඇති කරගතයුතුව තිබේ. අපට අනුව ඉන් මිදීමට අපට සොයා බැලිය යුතු ඇති මාර්ග 3ක් වන්නේය.
ඉන් පලමු වැන්න වන්නේ රනිල් කියන IMF මාර්ගයයි. දෙවැන්න චීන මාවතයි. තුන්වැන්න විසඳුමක් නොමැති අගාධයට අප රැගෙන යන මාවත වන්නේ සිම්බාබ්වේ මාවතයි.

ඉදින් රනිල් හරියට හෝ වැරදියට පලමු වරට IMF එක සමග ගනුදෙනු කරන්නට යැයි කීම නිර්භීත සහ ප්‍රතිපත්තිමය අවංක භාවයක් ප්‍රකාශ කිරීමක් යයි මම විශ්වාස කරමි. එසේ නම් රනිල්ට එසේ සැලියුට් කිරීම වරදක් යයි මම නොසිතමි.

රනිල් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද දෙවැනි කරුණ ද අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයට දැවැන්ත ලෙස වැදගත් වන්නකි. එනම්;
2. කොවිඩ් මර්දන ක්‍රියාවලිය කාර්ය සාධක බලකායකින් මෙහෙයවන එක වැරදි වගේ ම අසාර්ථක බවත් එය මෙහෙයවීමේ බලතල කැබිනට්ටුව අතට ගතයුතු බවත්ය. රනිල් අසන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන හමුදාපතිවරයා ඔහුට ඉහළින් ඇති අනෙක් අමාත්‍යංශ ප්‍රධානීන්ට අණ දෙන්නෙ සහ අණ ක්‍රියාත්මක කරන්නේ කෙලෙසට ද යන්නයි. මෙම ප්‍රකාශය අප සැලකිල්ලට ගතයුත්තේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය තුළ සිදුවූ වරදක් හෝ අඩුපාඩුවක් ලෙස නොවේ. එය දැවැන්ත දේශපාලනික ප්‍රශ්නයක් ලෙසටය.

රනිල් අපට මතක් කර දෙන්නේ පසුගිය මාස 18 ක කාලය තුළ කොවිඩ් මර්දනය අරබයා කැබිනට්ටුවක් මගින් තීරණ ගන්නා ප්‍රජාතානත්‍රික රජයක පාලනයක් අප රට තුළ නොපැවති බවයි. (එම පාලනයේ දිගුවක් ලෙස මුදල් අමාත්‍යංශය මගින් ඔන්ලයින් ක්‍රමයට අරක්කු විකිණීම නවත්වනේ ද හමුදාපතිතුමාය) එසේම රනිල් අනතුරු අඟවන්නේ අනාගත අධිකාරීවදී සිවිල් මිලිටරි බලයක පෙරනිමිති දැන් දැන් පහළ වෙමින් පවතින බවයි.
ඒ සඳහා ඔහු උදාහරණයකට ගෙන එන්නේ ජාත්‍යන්තර ආයෝජන සමුළුවේ කතිකයකු ලෙස හමුදාපතිවරයාගේ සහභාගීත්වයයි.

සැබවින්ම අප ඉහතින් සඳහන් කළ බංකොලොත්භාවයට විකල්පයක් ලෙස පවතින චීන මාවතේ ගමන් කිරීම සඳහා හෝ විසඳුමක් නොමැති කරවටක් එරුණ සිම්බාබ්වේ මාවතේ ගමන් කිරීමට වර්තමාන ජනාධිපතිවරයාට අවශ්‍ය අධිකාරීවාදී පාලන ක්‍රමය කොරෝනා මර්දනය හා කළමනාකරණය මුවාවෙන් මේ වන විටත් ජනාධිපතිවරයා අත්හදා බලමින් බලමින් සිටින බව රනිල් අපට එය සිහිපත් කර සිටී.

රනිල් මහතා පාර්ලිමේන්තුව තුළ දී ආයතන ප්‍රධානියකු වන හමුදාපතිවරයාට අමාත්‍යංශ ලේකම් වරුන්ට අණ දිය හැකිදැයි අසන්නේ මෙම සංකීර්ණ රාජ්‍ය පාලන උභතෝකෝටිකය ඉස්මතු කරදීමටය.

ඉදින් එසේ රටක ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය අනාගතය අනතුරේ වැටෙමින් තිබෙන තත්වයක් පෙන්වාදීම පිළිබඳව රනිල්ට සැලියුට් කිරීමක් වරදක් ලෙස මම නොදකමි. මේ ප්‍රශ්න දෙකම වර්තමාන විපක්ෂයට අහුනොවුණු නමුත් මතු කළ යුතුව තිබු කේන්ද්‍රීය ප්‍රතිපත්තිය ප්‍රශ්න වන්නේ යයි මාගේ මතයයි.
ඉතින් ඒ ගැන කතාකිරිම රනිල්ගේ ඔඩොක්වට යාමක් නොවේ. එසේම සජිත් විවේචනය කිරීමක් ද නොවේ. එය ඇත්ත ඇති සැටියෙන් දැකිමකි.

අවාසනාවකට එදා රනිල් අසල කැරකුණ ගොට්ටන් පිරිසක් මෙන්ම අද දවසේ සජිත් වටාත් ගොට්ටන් පිරිසක් සංවිධානය වී ඇති සෙයක් පෙනෙන්නේය. අද අපට අවලාද කියන රනිල් විරෝධී සජිත්වාදීන් එදා රනිල්ට එරෙහිව අප අරගල කරන කල හිටියේ තම වල්ගය දෙපැරැන්දේ දමාගෙනය. අප හට කියන්නට තිබෙන්නේ අද ඔවුන් සජිත්වාදී බව පෙන්වීමට දැන් රනිල්ට එරෙහිව විපක්ෂය තුළ පෙන්වන මාරානතික විරෝධය අපට කරුනු බොහෝමයක් නිසා අදාළ නැති බවයි.

අපට දැන් රනිල් සමග බේරාගන්නට ගනුදෙනුවක් නොමැති බව කිවයුතුව තිබේ. රනිල්ට එරෙහිව ජනමතයක් ඇති කොට සජිත්ව සමාජයයේ කරලියට ගෙනාවේ අපය. එය දස අවුරුද්දක ප්‍රතිපලයකි. එසේම එය දැවැන්ත දේශපාලනික කැප කිරීම් හා සිරගත වීම් හරහා දිනාගත් ජයග්‍රහණයකි. නමුත් දැන් අපට අවශ්‍යව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවීමටය. සජිත් ජනාධිපති කිරීම අපේ කාර්යක් නොවේ. එය ජනතාවගේ කාර්යකි.

ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමෙන් තොරව මීළඟ මැතිවරණයක් ගැන සිතීමෙන් පලක්වන්නේ නැත.
ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමට සජිත් හා රනිල් නැවත එක්විය යුතුය. එනම් ලිබරල් කඳවුර එක කොඩියක් යටතට ගතයුතුය. එවන් සන්දර්භයක් තුළ මට රනිල් හා පසමිතුරු බවක් තවදුරටත් අවැසි නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස