බැඳුම්කර වංචාවට රාජපක්ෂලා සම්බන්ධයි! අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්නේ නැත්තේ ඒකයි! – පාඨලී

November 16, 2020 at 8:37 am | by emanisa.lk

බලයට පත්වීමෙන් පසු සිංගප්පූරුවේ සිට කනෙන් ඇදගෙන එනවා යැයි කියූ අර්ජුන් මහේන්ද්‍ර වසරක් ගත වී ඇතත් තවමත් රැගෙන ඒමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක පවසයි.

අද (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළේය.

එය ගෝඨාබය රාජපක්ෂ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටට පැවැසූ බොරුවක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

“අපි අහනවා එතුමාට දැන් අවුරුද්දයි අර්ජුන් මහේන්ද්‍රන් කනෙන් අල්ලන් එනවා කිව්වේ, අර්ජුන් මහේන්ස්ද්‍රන් අල්ලන්න කොවිඩ් එකේ තියෙන බලපෑම මොකක්ද? එතුමාගේ ජාතික ආරක්ෂක ශක්තිය මැනවින් පෙන්වපු උදාහරණයක් තමයි මේ රටට කියපු පට්ටපල් ව්‍යාජ බොරුව. අර්ජුන් මහේන්ද්‍රන් කුමාරන් පද්මනාදන් අල්ලන් ආවා වගේ කනෙන් අල්ලන් එනවා කියපු ව්‍යාජ සිංහ නාදයට වසරක් ගිහිල්ලා. අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිම පියවරක් ගන්න බැරි වුණා විතරක් නෙවෙයි 2016 මාර්තු මාසයේ තෙවෙනි වංචාව සම්බන්ධයෙන්, එක තත්ත්පරයක් අර්ජුන් අලෝසියස්ලව අත්අඩංගුවේ තියාගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අතින් අපේ පාලනය යටතේ සිදුවුණ වරද සම්බන්ධයෙන් අපේ පාලනය මේ පිරිස් අත්අඩංගුවට ගත්තා, බැංකු ගිණුම් තහනම් කළා, වංචා කළ ධනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් රජයට ආපසු ගත්තා, මාස ගාණක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා, සිංගප්පූරුවත් එක්ක සැලකිය යුතු උත්සාහයක් ගත්තා අර්ජුන් මහේන්ද්‍ර පිටමං කරගන්න. ඒ ගැන අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තුතියි වන්ත වෙන්න ඕනේ.”

එමෙන්ම එතෙකින් නොනැවතී එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එම වංචාව හෙළිදරව් කරගැනීමට හැකි වූ බව ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් තවදුරටත් එම වංචනිකයින්ට එරෙහිව ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට නොහැකි වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා නොව එය ආණ්ඩුවේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම 2008 වසර කාලයේ සිටම සිදුව ඇති බැඳුම්කර වංචාවන්ට ඔවුන්ගේද සම්බන්ධයක් පවතින හෙයින් යැයි මන්ත්‍රීවරයා තවදුරටත් පවසන ලදී.

මෙම තත්ත්වය මත අර්ජුන් මහේන්ද්‍රන්ට නීතිය ක්‍රියාත්මක නොවෙන තාක්කල් මෙම ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් එම මහා බැංකු වංචාවට කොටස්කරුවන් ලෙස නම් කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද චම්පික රණවක මහතා වැඩිදුරටත් කියාසිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස