අරගල කළේ කුඩ්ඩොයි ගණිකාවොයි…! කුඩාරම් අස්සට වෙලා කළ දේවල් එළියට..!

December 4, 2022 at 9:58 am | by emanisa.lk

අරගල කරපු කුඩ්ඩොයි, ගණිකාවොයි කූඩාරම් අස්සට වෙලා කරපු දේවල් දැන් එළිවෙනවා. ලක්ෂ 220ක් නියෝජනය කරන පාර්ලිමේන්තුවෙ ඉන්න අයයි මේ අර්බුදයට විසඳුම් හොයන්න ඕන. කුඩ්ඩෝ කියන දේවල් කරන්න ගියොත් රට ගොඩගන්න බෑ’නගාරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඒ සඳහා විවිධ බාධා එල්ලවුවද නවීන තාක්ෂණය භාවිතා කරමින් නාගරික සංවර්ධන හා නිවාස කේෂ්ත්‍රය වැඩිදියුණු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අළුත් දේශපාලන සංස්කෘතියක් තුළ අළුත් රටක් හදන්න නම් අළුත් අදහස්වලින් පෝෂණය විය යුතු බවද හෙතෙම කීය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කතාව ආරම්භ කරමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද අපි සාකච්ඡාවට ගන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වන 123, 291, 309 සිට 311 දක්වා වන වැය ශීර්ෂ පිළිබඳවයි. මෙම වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වන පක්ෂ විපක්ෂ සියලුම දෙනාම විෂයභාර අමාත්‍යවරයා විදිහට මා ඉල්ලා සිටිනවා රටේ පවතින ආර්ථික අර්බුදය අවබෝධ කර ගෙන රටේ පුරවැසියා වෙනුවෙන් ඵලදායි හා ප්‍රයෝජනවත් යෝජනා හා අදහස් ඉදිරිපත් කරයි කියලා.

ඊට අමතරව මෙම අමාත්‍යාංශය සම්බන්ධව චෝදනා හෝ නිවැරදි විය යුතු කරුණු තිබෙනවා නම් ඒවා සාධනීයව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා. පසුගිය දවස් කීපයේ අයවැය විවාදයට ඇහුම්කන් දුන්නාම අපේ ගරු මැති ඇමතිතුමන්ලගේ කථාවලින් පැහැදිලි වු‍ණේ ඔවුන් මෙවරත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ සාම්ප්‍රදායික සුබසාධක අයවැයක් කියලයි. මේක එහෙම සාම්ප්‍රදායික සුබසාධක අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. මම විශ්වාස කරනවා මේ වෙලාවේ රටට ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා.

පවතින තත්ත්වය තුළත් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 48,491ක මුදලක් මේ අමාත්‍යාංශය සඳහා වෙන් වී තිබෙනවා. එහි පුනරාවර්තන වියදම් ලෙස වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,744ක්. අපි සමස්ථ මුදලෙන් රුපියල් මිලියන 43,740 ක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. නාගරික සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 20,433ක්, නිවාස සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 16,057ක් මෙන්ම කසළ කළමණාකරණය හා පරිසර ආරක්ෂණ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 7,250ක් වෙන් කර තිබෙනවා. මෙම අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු 4 සඳහා රුපියල් මිලියන් 2007ක් වෙන් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයත් එක්ක රට මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති අඩාල වුණා. ආනයනය පාලනය කරන්න සිද්ධ වෙච්ච නිසා වෙළඳපොලේ ඇති වු භාණ්ඩ හිඟයත්, අමුද්‍රව්‍ය මිල ඉහළ යාමත් මේ තත්ත්වයට හේතු වු බව අපි පිළිගන්න ඕනේ. මම මේ අමාත්‍යාංශය භාරගත්තේ එවැනි පසුබිමක් තුළ.

මේ විෂය මට අළුත් විෂයයක් නොවේ. මම බස්නාහිර පළාත් සභාවේ මේ විෂයට සම්බන්ධ ඇමති ධූරයක් දරලා තියෙනවා. ඒ බස්නාහිර පළාතේ නිවාස නාගරික සැළසුම් ඇමති ධුරයයි. ලංකාවේ ආර්ථික වශයෙන් වැදගත්ම පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මට ඔබ සියළු දෙනාගේම සහයෝගය ඇතිව මේ අමාත්‍යාංශය නිවැරදි දිසාවට මෙහෙයවන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.

මේ අමාත්‍යාංශය යටතේ ආයතන 21ක් තියෙනවා. මේ ආයතන 21ම රටේ සංවර්ධනයට සෘජුව දායක වන ආයතන. මේ ආයතන පසුගිය කාලයේ යම් කඩා වැටීමකට ලක්ව තියෙනවා. ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයට වැඩ කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කළා. අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන 21 න්

නාගරික සංවර්ධන අධිකාරිය,
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව,
ජාතික භෞතික සැලසුම් දෙපාර්තුමේන්තුව
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව
යන ආයතන හැරුණාම අනිත් සියලුම ආයතනවල වගකීම මම රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබෙනවා. ඒ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්න කටයුතු කළා. ඒ ආයතන නිළ වශයෙන් ඔවුන්ට පැවරුණත් කැබිනට් අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල වගකීමත් ඔවුන්ට තිබෙන බව මා දැනුම් දී තිබෙනවා. මොකද අපි රට හදන්න ඕනේ එකමුතුවෙලයි. මම වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. බෙදාගෙන කරන කෙනෙක්.

සමහර ආයතනවල සේවකයන්ගෙ පඩි ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ ආයතනවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරගෙන ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගන්න අපි උපදෙස් දී තිබෙනවා.

කැබිනට් ඇමතිවරයා විදිහට මගෙත්, රාජ්‍ය අමාත්‍යවරුන්ගෙත් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු සියලු ආයතන ප්‍රධානීන්ගේත්, අපේ අමාත්‍යාංශය යටතේ ඉන්න ඉහළ සිට පහළ දක්වා සියලුම දෙනාගේත් අපේක්ෂාව වෙලා තියෙන්නේ පවතින තත්ත්වය තුළ මේ නාගරික සංවර්ධන හා නිවාස ක්ෂේත්‍රය ගොඩගන්න එක. ඒ වගේම ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න කම්කරුවාගේ සිට ඉහළම ආයෝජකයා දක්වා රැක ගැනීම. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම.

මම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය භාරගත්තාට පස්සේ මුලින්ම කළේ අපිට මුහුණ දෙන්න තිබුණ අභියෝග හඳුනා ගැනීම. ඒ අභියෝග හඳුනා ගෙන ඒවාට විසඳුම් ලබා දෙන්න පුළුවන් විවිධ පාර්ශ්ව එක්ක සාකච්ඡා කළා. සාකච්ඡා කරලා ඒවාට අදාළ විසඳුම් ක්‍රියාත්මක කළා. ඒ වැඩපිළිවෙල අතරතුර ආර්ථික අර්බුදය නිසා අතරමග නතර වෙලා තිබෙන ණය, ආධාර ලබාදීම්, නිවාස ව්‍යාපෘති, නාගරික සංවර්ධන යෝජනා නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයක් සකස් කළා. ඒ සඳහා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අපි හඳුනා ගත්තා.

අපිට මුලින්ම තිබුණ අභියෝගය තමයි පශ්චාත් කොවිඩ් වසංගත තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටී තිබු ඉදිකිරීම් ක්ෂේත්‍රය රැක ගැනීම. මේ ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියාවල ලක්ෂ 10කට ආසන්න පිරිසක් නිරත වෙලා ඉන්නවා. ආනයන සීමා කිරීම්, සැපයුම් ප්‍රවාහන ප්‍රමාදය, බැංකු පහසුකම් සීමා කිරීම, රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල, ඉදිකිරිම් ද්‍රව්‍ය හිඟ වීම වගේ කාරණා මේ ක්ෂේත්‍රය කඩා වැටීමට හේතු වුණා.

මේ තත්ත්වය හඳුනාගත් අපි අමාත්‍යාංශයක් විදිහට ඉදිකිරීම් ක්ෂේත්‍රය රැකගැනීම සඳහා විශේෂ පියවර කීපයක් ගත්තා. අපේ පළමු පියවර වුණේ ඉදිකිරිම් කර්මාන්තයේ පැවැත්ම උදෙසා සහනදායි ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කිරීමයි. එහි ප්‍රතිඵලයක් විධියට ගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එම කැබිනට් පත්‍රිකාව මම සභාගත කරනවා.

මේ අනුව 2020 මාර්තු සිට 2022 දෙසැම්බර් අවසානය දක්වා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසෙනවා. මෙම සහන ලබන වසරේ (2023) දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට අපි කටයුතු කර ගෙන යනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ සිදු කෙරුණු ඉදිකිරීම් සඳහා ගෙවීම් ප්‍රමාද වී තිබෙන මුදල රුපියල් බිලියන 12කට ආසන්නයි. මහා මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ටත් මේ හා සමාන මුදලක් ගෙවන්න තියෙනවා.

අපේ නිවාස අමාත්‍යාංශය යටතේ ගෙවන්න තිබෙන මෙම මුදල මේ වන විට ක්‍රමානුකූලව, කඩින් කඩ ගෙවමින් තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන වසරේ මුල් කාර්තුව අවසන් වන විට මේ ගෙවීම් කටයුතු අවසන් කරන්න අපට පුළුවන් වෙයි කියලා.

අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන සීඩා ආයතනය (ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය) ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන තිබෙනවා. ඇත්තටම කිව්වොත් මේ ආයතනයෙන් නිසි ප්‍රයෝජනයක් අපි මෙතෙක් අරගෙන නෑ. උදාහරණයක් විධියට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පහළම කම්කරුවාගේ සිට ඉහළම පුද්ගලයා දක්වා වෘත්තීය පිළිගැනීමක් (Recognition) ඇති කිරීමට කටයුතු කර තිබුණේ නෑ. එවැනි පිළිගැනීමක් ඇති කිරීමට නම් එම වෘත්තීය ප්‍රමිතිගත කිරීම කළයුතුයි. එම කාර්යය පැවරෙන්නේ මෙම ආයතනයටයි.

ඒ අනුව දැනට පවතින ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත බලගන්වා මෙතෙක් කලක් ප්‍රමාද වී තිබු ඉදිකිරීම් ශිල්පීන් සහ නිපුණ ඉදිකිරීම් ශිල්පීන් වර්ග කිරීම මීට සති දෙකකට පෙර අපි ආරම්භ කළා. ඒ අනුව ඉදිකිරීම් ශිල්පීන්ට වෘත්තීය හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් සිදු වෙනවා. මේ නිසා ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවයද ඇති වී තිබෙනවා. මේ වැඩපිළිවෙල ඉදිරි වසර තුළ දිවයිනේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (ස.ජ.බ) – පසුගිය කාලයේදී ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාළ ආයතන ගණනාවක් විපක්ෂනායකතුමා සමඟ කතා කළා. ඔවුන්ට රුපියල් බිලියන 200ක් විතර ලැබෙන්න තියෙනවා. ඒ වගේම විදේශගතව තමන්ගේ වෘත්තිය කරගෙන යන අයට අවශ්‍ය සහතික ලබාගැනීම ගැන ඔවුන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටිනවා. එමෙන්ම විදේශගත වන්න වීසා පහසුකම් ලබාගැනීම හා විදේශ අමාත්‍යංශයේ මඟපෙන්වීම අඩුපාඩු ගැන කතා කළා. ඒ ගැන අවධානය යොමුකරන්න කියල ඔබගෙන් ඉල්ලනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (ශ්‍රී.පො.පෙ) – ඔබ කතා කරන්නේ සියලුම ඉදිකිරීම් ශිල්පීන් ගැනයි. මම කතා කරන්නේ මගේ අමාත්‍යංශයේ ඉදිකිරීම් ශිල්පීන් ගැනයි. ඒ අයගේ ගෙවීම් ලබන අවුරුද්දෙ ගෙවන්න අපි කටයුතු සූදානම් කර තිබෙනවා. අපිත් යෝජනා කරන්නෙ විදේශ රටවල ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාලව ඉල්ලීම් කරන්න කියලයි. ඒ සඳහා තනාපති කාර්යාල සඳහා මඟපෙන්වීම අපි කරනවා. දැනටමත් ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කරනවා. අපි සියලුම දෙනාට මේ සඳහා මැදිහත් වෙන්න වගකීමක් තිබෙනවා.

අද රට මුහුණපා තිබෙන ආර්ථික අර්බුදයේ මූලික ප්‍රශ්නය තමයි ඩොලර් නැතිකම. අපේ අමාත්‍යාංශය ඩොලර් උපයන අමාත්‍යාංශයක් නෙමෙයි. නමුත් පවතින තත්ත්වය තුළ අමාත්‍යාංශයක් විදිහට අපිට කරන්න පුළුවන් මොනවද කියලා අපි අළුතින් හිතුවා.

නාගරික සංවර්ධන අධිකාරිය මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති 12ක් මේ වන විට ක්‍රියාත්මක කර තියෙනවා. ඒ යටතේ දැනට නිවාස ඒකක 3,667ක් ඉදිවෙමින් පවතිනවා. ඒ අනුව අපි විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශවල සේවය කරන අපේ අයට ඩොලර්වලට නිවාස අලෙවි කරන ව්‍යාපෘතියක් හඳුන්වා දුන්නා. අපි ද්විත්ව පුරවැසිභාවය හා ස්ථිර වීසා මත විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ටත් මේ නිවාස මිල දී ගැනීමේ අවස්ථාව ලබාදෙන්න කටයුතු කළා. ඩොලර්වලින් මේ නිවාස මිල දී ගන්නවා නම් අපි 10%ක වට්ටමක් දෙන්න කටයුතු කරනවා. මේ වෙනුවෙන් අපි ඩොලර් ගිණුමක් පිහිටුවන්න කටයුතු කළා.

අපි පසුගිය මාස දෙක තුළ ඩොලර්වලට නිවාස 06 ක් විකුණා තිබෙනවා. ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 276,650ක මුදලක් මේ වන විට උපයා තිබෙනවා. මේ අලෙවි කෙරුණු සියලුම නිවාස වියත්පුර නිවාස ව්‍යාපෘතියේ ඒවා. ඩුබායි, ඇමෙරිකානු එක්සත් ජනපදය, කැනඩාව, කටාර් වගේ රටවල්වල සේවය කරන සහ වැඩකරන ශ්‍රී ලාංකිකයන් තමයි මේවා මිල දී ගත්තේ. තවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙක් මේ නිවාස මිල දී ගන්න අයදුම් කරලා තියෙනවා. ඒ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මකයි. මේ මාසය අවසන් වෙන්න කලින් අපි ඒ අලෙවි කටයුත්ත අවසන් කරනවා. එම නිවාස 10 යේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 352,800 ක්.

ලබන වසරේ අපේ ඉලක්කය තමයි “ඩොලර් නිවාස ව්‍යාපෘතිය” මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක ඉලක්කයක් සපුරා ගැනීම. විදේශීය පුරවැසියන්ට ද මේ නිවාස මිල දී ගැනීමේ අවස්ථාව ලබාදෙන්න අපි තීරණය කළා. ඒ සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ නිර්දේශය මත විවෘත කරන අභ්‍යන්තර ආයෝජන ගිණුමක් (Inward Investment Account) විවෘත කිරීමට අපි පියවර ගන්නවා.

සංචාරක ව්‍යාපාරය තමයි මේ රටට ඩොලර් ගෙනෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වෙන්නේ. මා සංචාරක ඇමතිවරයා ලෙස කටයුතු කරන කොට රට පුරා ආකර්ෂණීය සංචාරක ස්ථාන 5000කට වැඩි සංඛ්‍යාවක් අලුතින් හඳුනා ගත්තා. ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට තමයි වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තිබෙන්නේ. දිවයින වටා තිබෙන වෙරළ තීරයේ නව සංචාරක ආකර්ෂණීය ස්ථාන 24ක් අපි අළුතින් හඳුනාගෙන තිබෙනවා. ගඟේ වාඩිය, පුත්තලම කළපු දූපත්, වයික්කාල, සීතගල්ල මේ සංචාරක ආකර්ෂණිය ස්ථානවලින් කිපයක්. සංචාරක අමාත්‍යංශය හා එක්ව අපි ඉදිරියේ දි මෙම සංචාරක ස්ථාන පිළිබඳව සංචාරකයන් අතර පුළුල් ප්‍රචාරයක් ලබාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරනවා.

අපේ රටට අයත් දූපත් 113 ක් තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විතරක් දූපත් 76ක් පිහිටා තිබෙනවා. මේ දූපත්වල විවිධ ජනකොටස් ජීවත් වෙනවා. ඔවුන්ටම ආවේණික උපසංස්කෘතින් ඒ අයට තියෙනවා. මේ දූපත් සංවර්ධනය කිරීම සඳහා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළා. ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු ඇමතිතුමන්ලා විවිධ නිරික්ෂණයක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ අපේක්ෂාව වුණේ මේ දූපත් සංවර්ධනය කරලා සංචාරක ආකර්ෂණය ඉහළ නංවාලීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා රටට ඩොලර් උපයා ගැනීමේ වැඩපිළිවෙලක් හදන්න. කැබිනට් මණ්ඩලයේ නිර්දේශ අනුව අපි ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නවා.

ඔබට මුලින් කිව්වා අපි රටට ඩොලර් ගේන්න වැඩපිළිවෙලක් සකස් කළා කියලා. නාගරික සංවර්ධන අධිකාරිය විදිහට අපි ඒ වෙනුවෙන් තවත් විශේෂ පියවරක් ගත්තා.

නාගරික සංවර්ධන අධිකාරිය මහනගර සභා 24ක්, නගර සභා 41ක්, ප්‍රාදේශිය සභා 208ක්, නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ ප්‍රදේශවල සියලුම සංවර්ධන කටයුතු සඳහා අවසර දිමේ බලය තිබෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය වැනි ආයතන 26 ක් සම්බන්ධ වෙනවා. මෙවැනි සංවර්ධන බලපත්‍රයක් අනුමත කරන්න මීට කලින් වසරක පමණ කාලයක් ගියා. මේ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වුණ ආයෝජකයන් අධ්‍යෛර්යමත් වුණා. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දි අනවශ්‍යය ප්‍රමාදයන් ඇතිවුණා.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන සංවර්ධන බලපත්‍ර කඩිනමින් ලබාදීමේ වැඩසටහනක් අපි ආරම්භ කළා. අපි එය නම් කළේ One Stop Unit ලෙසයි. මෙම ඒකකය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වෙනවා. පළමු අදියර යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළත්, දෙවන අදියර යටතේ කොළඹ මහා නගර සභා සීමාව තුළත්, නාගරික සංවර්ධන අධිකාරියේ සියලුම දිස්ත්‍රික් කාර්යාල සහ සියළුම පළාත් පාලන ආයතන ආවරණය වන පරිදිත් ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.

වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙචච් වැඩක් තමයි අපි මේ කරන්නේ. අපි කරන දේ හරියට කරන්න ඕනේ. සංවර්ධන ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට මීට පෙර වසරකට වැඩි කාලයක් ගතවු බව මා ඔබට කිව්වා. නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ එය දින 10ත් 21ත් අතර කාලයක් දක්වා අඩු වෙනවා. ඒක ආයෝජකයන්ට විශාල සහනයක් වගේම අපේ රටේ ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට දිරි ගැන්වීමක්.

මේ ව්‍යාපෘතියට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් බැංකුවක් සකස් කිරිමට අපි කටයුතු කරගෙන යනවා. නාගරික සංවර්ධන අධිකාරියට අයත් දිවයිනේ ප්‍රධාන නගර තුළ දැනට උපරිම භාවිතයට යොදාගෙන නොමැති ඉහළ වෙළඳපොළ වටිනාකමක් තියෙන ඉඩම් සහ ගොඩනැගිලි අක්කර 1008 ක් පමණ තියෙනවා. ජාතික සැලැස්මකට අනුව රාජ්‍ය හා පුද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් එම ඉඩම් සංවර්ධනය කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය කාලයේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් නිසා ඇතැම් ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන්න අපට සිදුවෙලා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියට තමයි නගර සංවර්ධනය පැවරී තිබෙන්නේ. ප්‍රතිපාදන ගැටළු නිසා අපට මේ සමහර නගර සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් සැළසුම් සකස් කිරීම අපි නතර කළේ නෑ. නාගරික ප්‍රදේශ 272කින් 70කම සැළසුම් මේ වන විට සකස් කර අවසන්. ලබන වසර තුල නාගරික බලප්‍රදේශ 272ම නගර සැළසුම් සකස් කර ඒවා ගැසට් මගින් ප්‍රකාශයට පත් කර අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ හැම සංවර්ධන කටයුත්තක්ම සිදුවන්නේ පළාත් පාලන ආයතන හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගෙනයි.

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නාගරික මධ්‍යස්ථාන 117ක් තෝරා ගෙන ඒවායේ මුලික මහජන අවශ්‍යතා සංවර්ධනය කිරීම සඳහා සියක් නගර වැඩසටහන අපි ක්‍රියාත්මක කළා. හඳුනාගත් නගර 117න් නගර 116ක ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. ඉන් නගර 110 ක වැඩ අවසන්. මේ ව්‍යාපෘතිය පිළිබඳ විවිධ ගැටළු තිබෙන්න පුළුවන්. ඒ ගැටළු තිබෙන ප්‍රදේශ අපි හඳුනා ගෙන ඒවා නිවැරදි කිරීමටත් ඉදිරියේදී කටයුතු කරනවා.

මම හැම තිස්සෙම කියන්නෙ අලුත් ව්‍යාපෘති ආරම්භ කරන්න එපා. පරණ ඒවයේ මුදල් ගෙවන්න කටයුතු කරන්න කියලයි. මම පහුගිය දවස්වල මන්නාරම ගියා. බාගෙට හදපු ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවයේ අනෙකුත් අදියරවලට මුදල් ගෙවන්න බෑ. ඒ නිසා අවසන් ගෙවීම් කරන්න තියෙන නිවාස කොපමණද කියල සංඛ්‍යා‍‍ ලේකනයක් දෙන්න කියල ජනාධිපතිතුමාත් උපදෙස් දී තිබුණා. රජයේ ප්‍රතිපාද කියන්නෙ ජනතාවගේ මුදල්. මේවා නාස්ති වෙන්න දෙන්න බෑ. අපි අලුත් සංඛල්ප හදල මම පොර වෙන්න යන්නෙ නෑ. ඉතිහාසයේ හිටපු ඇමතිවරු කරපු දේවල් ඒ නමින්ම යන්න ඕන. ප්‍රතිපාදනවලට අනුව අලුත් දේවල් කරන්න ඕන කියල මම හැමදාම කියනවා.

ඒ වගේම පවතින ආර්ථික අර්බුදය නිසා තාවකාලිකව නතර වි ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන ව්‍යාපෘති ලබන වසර මුල වන විට යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා. රටේ පවතින මූල්‍ය අර්බුදය යථා තත්ත්වයට පත් වන තුරු පොදු පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා මහා භාණ්ඩාගාර අරමුදල් භාවිතා කිරීමට අපි බලාපොරොත්තුවන්නේ නෑ. ඒ සඳහා ස්වයං මූල්‍ය ක්‍රමවේදය (Self Financing) භාවිතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පෞද්ගලික අංශයද ඒ වෙනුවෙන් දිරිමත් කිරීමට අපි අපේක්ෂා කරනවා.

රටේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරිම හා ඒ සඳහා සහාය දිම, පහසුකම් සැපයීම අපේ අමාත්‍යාංශයේ වගකීමක්. හැම ආණ්ඩුවක්ම මේ නිවාස ගැටළු විසඳන්න විවිධ පොරොන්දු දුන්නා. ඒ සඳහා විවිධ සංකල්ප ඉදිරිපත් කළා. ගම් උදාව, ජන සෙවණ වගේ නම් වලින් ඒවා හැඳින්වුවා. නිවාස විෂය පැවරෙන විවිධ ඇමතිවරු තම තමන්ගේ සංකල්ප ක්‍රියාත්මක කරන්න ණය ආධාර වැඩසටහන් අළුතින් හඳුන්වා දුන්නා.

කොවිඩ් වසංගතයත් ආර්ථික අර්බුදයත් නිසා අපි පහුගිය කාලයේ ආරම්භ කරපු මේවගේ ව්‍යාපෘති ගණනාවක් අතරමග නතර කරන්න සිද්ධ වුණා. ලබන ජනවාරි මාසයේ සිට මේ නතර වුණු නිවාස ව්‍යාපෘති ණය සහ ආධාර වැඩසටහන් අපි යළි ආරම්භ කරනවා.

ඒ වගේම එම ව්‍යාපෘති ණය ආධාර වැඩසටහන් අවසන් වෙනතුරු මම නව නිවාස ණය ආධාර හෝ නිවාස ව්‍යාපෘති ආරම්භ කරන්නේ නෑ. තියෙන ව්‍යාපෘති අවසන් කරලා මිසක් අලුතින් වැඩසටහන් හඳුන්වා දෙන්න මගේ සුදානමක් නෑ.

කවුරු ආරම්භ කළත් අපි හොඳ දේ ඉදිරියට ගෙනි යන්න ඕනෑ. දැනට ක්‍රියාත්මක ණය ආධාර සහ ව්‍යාපෘති අවසන් කළාට පස්සේ අපි මේ පිළිබදව නැවත සමාලෝචනයක් කරනවා. එහෙම සමාලෝචනයක් කරලා පසුගිය කාලයේ මේ විෂයය භාරව සිටි මැති ඇමතිවරුන් ක්‍රියාත්මක කළ හොඳ වැඩසටහන් ඉදිරියට ගෙනි යන්න මම බලාපොරොත්තු වෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස ක්ෂේත්‍රය කොවිඩ් වසංගත තත්ත්වය හා ආර්ථික අර්බුදය ඇතිවීමට පෙර තිබු තත්ත්වයටත් වඩා ඉහළ තලයකට ගෙන ඒම තමයි අපේ ඉලක්කය. පවතින ආර්ථික අර්බුදය හමුවේ අපිට ඒ සඳහා විවිධ බාධාවන් තිබෙනවා. අළුත් දේශපාලන සංස්කෘතියක් තුළ අළුත් රටක් හදන්න අපි අළුත් අදහස්වලින් පෝෂණය වෙන්න ඕනේ. නවීන තාක්ෂණය උපයෝගි කරගන්න ඕනේ. අපි නිවාස හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයට අළුත් අදහස් හා නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉන්නවා.

අපි රට ගොඩනගන්න හදන කොට සමහර අයට ඕන කරලා තියෙනවා අපේ කකුලෙන් අදින්න. කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය වගේම අරගලය නිසත් අපේ රට ආපස්සට ගියා. අදත් සමහරු උත්සාහ කරනවා නැවත රට තුළ අරගලයේ නාමයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්න. යාන්තම් රට යථා තත්ත්වයට පත්වෙමින් තියෙන කොට ආපහු රට තුළ ගිනි අවුලන්න සමහරු උත්සාහ කරනවා. ගෙවල් ගිණි තියලා, කාර්යාල විනාශ කරලා කොහොමද රටක් ගොඩනගන්නේ. සමහර මන්ත්‍රීවරු මේ විවාදවලදීත් අරගලය සාධාරණීකරනය කරනවා. අපි සාමකාමී අරගලවලට විරුද්ධ නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි පක්ෂ අරගලය පාවිච්චි කරල රට විනාශ කරනවානම් අපිට ඒකට එකඟ වෙන්න බෑ. අපි කල්පනා කරන්න ඕන රට ගොඩ ගන්න විදියයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් කියලා විපක්ෂයේ මන්ත්‍රවරුන් චෝදනා කරනවා. හැටනවලක්ෂයක් ඡන්දය දුන් රාජපක්ෂ වාදීන් තමයි අද රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ හින්දා නොවෙයි. ව්‍යවස්ථානුකුලව හා ප්‍රජාතන්ත්‍රවාදීව පත්වු රටේ ජනාධිපතිවරයා නිසා. එදා ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වගකීම් භාර ගන්න කියලා හැම දේශපාලන නායකයෙකුටම ආරාධනා කළ වේලාවේ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වුණා නම් මේ ආණ්ඩුව සජිත් රාජපක්ෂ ආණ්ඩුවක් කියයි.

අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් වුණා නම් අනුර රාජපක්ෂ ආණ්ඩුවක් කියයි. මම අහන්න කැමතියි බැරි වෙලාවත් අපේ ඩලස් අමාත්‍යතුමා ජනාධිපති වුණා නම් ඒක ඩලස් ප්‍රේමදාස ආණ්ඩුවක් ද කියලා? අපි ජනමතයක් එක්ක ආපු කණ්ඩායමක්. පක්ෂනායකත්වය ඉවත්වුණාම තනතුරු නොගන්න අපි තීරණය කළා. ඒ නිසා තමයි විපක්ෂයට ඇවිල්ලා මේක බාරගන්න කිව්වා.

ඒ නිසා මම කියනවා කරුණාකරලා දැන්වත් මේ දේශපාලන කුහකත්වය අත්හරින්න කියලා. මම ප්‍රායෝගිකව හිතන කෙනෙක්. අද සමහරු කන්නේ එළවළු දෙකක් එක්ක. අපි මේක තේරුම් ගන්න පොළොවෙ පයගහල ජීවත්වෙන්න ඕන. දැන් අරගල කරපු කුඩ්ඩොයි, ගණිකාවොයි කූඩාරම් අස්සට වෙලා කරපු දේවල් දැන් එළිවෙනවා. ලක්ෂ 220ක් නියෝජනය කරන පාර්ලිමේන්තුවෙ ඉන්න අයයි මේ අර්බුදයට විසඳුම් හොයන්න ඕන. කුඩ්ඩෝ කියන දේවල් කරන්න ගියොත් රට ගොඩගන්න බෑ. අපි ගම්මට්ටමෙන් මිනිස්සු එක්ක ඉන්න නිසා ඒ අය සැලසුම් සහගතව ගෙවල් ගිනි තිව්වා. මේ අර්බුදයෙන් රට ගොඩගන්න අපි සියලුම දෙනා එකතු විය යුතුයි.

රටේ තිබෙන ආර්ථික අර්බුදය නිසා ජනතාව දැන් හොඳටම පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒක නතර කිරීමේ වගකිම තියෙන්නෙත් අපිටමයි. ඒ නිසා අපි හැමෝම පක්ෂ පාට බේදයෙන් තොරව එකතුවෙලා වැඩ කරන්න ඕනේ. අපේ අමාත්‍යාංශයට අදාළව පක්ෂ විපක්ෂව ඕනෑම කෙනෙක් ඉදිරිපත් කරන සාධනීය යෝජනා ක්‍රියාත්මක කරන්න මම ඉතා කැමැත්තෙන් සිටින බව අවධාරණය කරනවා.

– ප්‍රදීප් අනුර කුමාර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස