ජනාධිපතිවරණයට අනුරගේ නම යෝජනා කරන කොටම ලක්ෂ 25ක ඡන්ද මල්ල ලක්ෂ 5ට වැටුණා! – සුමිත් චාමින්ද

August 21, 2019 at 10:21 am | by emanisa.lk

ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර දිසානායක පත් කිරීම වැරදි තීන්දුවක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.

ඔහු ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

“ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද ගත්තේ ඉතාම වැරදි තීරණයක්.

වාම ජනතාවාදී නොහොත් ජනප්‍රියවාදී දේශපාලනයකට අවස්ථාව උදා වී ඇති බව අපි පසුගිය කාලයේදී දිගින් දිගටම අවධාරණය කරමින් සිටියෙමු. ඒ අවස්ථාව ග්‍රහණය කරගැනීම සඳහා පුළුල් වාම සහයෝගීතාවක් ගොඩ නගා ගැනීමට යෝජනා කළෙමු. ඒ වෙනුවෙන් යම් යම් වාමාංශික නායකත්වයන් සමග දිගු සාකච්ජාවල නිරත වූයෙමු.

එය අසාර්ථක වූ තැන තවදුරටත් එම ප්‍රයත්නයට අවශ්‍ය ඉඩ කඩ ඉතිරි කරගනිමින් යම් තනි පක්ෂයක් හෝ සංවිධානයක් සමග සෘජුව අනන්‍ය නොවී පොදු වාම කතිකාමය අවකාශය ශක්තිමත් කිරීමේ නිරත වෙමින් සිටිය යුතු බැව් අපට වැටහිණ. ජාතික ජන බලවේගය ගොඩ නැගීමේ රැස්වීමට අපට ආරාධනා ලැබුණු විට අප එයට නිරීක්ෂක මට්ටමින් පමණක් සහභාගී වූයෙමු.

කෙසේ වුවත්, අද දිනයේ ගෝල් ෆේස් පිටියට රැස්වූ අති විශාල ජනකායෙන් පෙනී ගියේ වාම ජනතාවාදී විකල්පයකට ඇති අවකාශය කෙබඳුද යන්නයි. බහුජන දේශපාලනයේදී ඇතැම්විට අනිශ්චිත මොහොතක් උදා වූ විට එය ග්‍රහණය කරගැනීමේ වඩාත්ම තියුණු හෙජමොනික උපාය සොයාගැනීමට අප අසමත් වුවහොත්, ඒ මොහොත වෙනත් ජනප්‍රියවාදී බලවේගයක් විසින් අත්පත් කරගනු ඇත.

ජාතික ජන බලවේගය තම ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී කළ වරද සම්බන්ධයෙන් ජනක ඉනිමංකඩ සොයුරා රූපිකමය ලෙස සිදු කළ නිරීක්ෂණය සමග මම එකඟ වෙමි. “ඒ නම නිවේදනය කිරීමත් සමග ලක්ෂ 25 ක් කරා යාමට තිබූ ශක්‍යතාව ආපසු ලක්ෂ පහක් කරා කඩා වැටිණ!” සැබවින්ම ඔවුන් ඉදිරිපත් කළේ ඔවුනට ඉදිරිපත් කළ හැකි දුර්වලම අපේක්ෂකයායි.

කෙසේ වුවත්, මේ තෝරාගැනීම පුදුමයට කරුණක් නොවේ. විදර්ශන සොයුරා ද අද දින පවසා තිබූ පරිදි ජාතික ජන බලවේගය ස්වකීය ජනප්‍රියවාදී එළඹුම වාමාංශික උපාය මාර්ගයක් තුළ පිහිටුවන්නට සමත් වී නොමැත. එය විසින් ජනප්‍රිය වාමාංශයේ දක්ෂිණාංශික අපේක්ෂකයා තෝරා ගැනීම ඒ අනුව අපේක්ෂා කළ යුත්තකි.

කෙසේ වුවද, දැන් වැඩි වාසිය ඇත්තේ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක් වෙතය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස