ශ්වසන රෝගී කතක් රෝහලට රැගෙන යද්දි මරුට! පවුලටම කොරෝනා දැයි සැකයක්?

April 7, 2020 at 9:34 am | by emanisa.lk

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී ඊයේ (6) මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින 10 කට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාව කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙලී තිබෙන බවයි.

කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතර මගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලිසියට පැවසූහ.

නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලිසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ .

මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායකගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බව වෛද්‍යවරු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස