වර්තමාන ආණ්ඩුව විකුණා දැමූ සියලු ජාතික සම්පත් නැවත පවරා ගන්නවා! – ජාතික සංවිධාන හමුවේදී ගෝඨා කියයි….

October 17, 2019 at 8:59 am | by emanisa.lk

වත්මන් රජය විකුණා දැමූ සම්පත් සියල්ල රටට පවරා ගැනීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

කොළඹ පදනම් ආයතනයේ පෙරේදා (15 වැනිදා) පැවති ජාතික සංවිධාන එකමුතුවේ ජාතික සම්මේලනය අමතමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එසේ ප‍්‍රකාශ කළේය

වත්මන් රජය විසින් රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යෑමට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව විශාල හඬක් නැඟූ බවත්, මේ වන විට රටේ ස්වෛරීභාවයට වගේම රටට විශාල අභියෝගයක් එල්ල වී තිබෙන බවත් හෙතෙම කීවේය.

රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවට රටේ පැවති ජාතිකත්වය කඩා බිඳ දැමීමට වත්මන් රජය කටයුතු කළ බවත්, යුද්ධය අවසන් කිරීමෙන් පසු රට තුළ ජාතික අභිමානයක් ඇති කිරීමට අප කටයුතු කළ බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

මේ වන විට රට උදා වී තිබෙන අභියෝගවලට මුහුණ දී අපේ සංස්කෘතිය ආරක්‍ෂා කිරීමට කැපවීමෙන් කටයුතු කරන බවත්, පසුගිය කාලයේ තමන්ට භාරදුන් වගකීම් නිසියාකාරව ඉටු කළ බවත්, ඉදිරියේදී ඔබේ යුතුකම ඉටුකළහොත් මගේ වගකීම ඉටු කරන බවත් ඒ මහතා පැවසීය.

නව ලිබරල්වාදී අදහස්වලින් හෙබි රජයකින් රටට සෙතක් බලාපොරොත්තු විය නොහැකි බවත් රට ගැන අවබෝධයක් නොමැති රජයකට ඉදිරි අභියෝගවලට මුහුණදීමට පුළුවන්කමක් නැති බවත්, නොබැඳි රටක් වශයෙන් ඉදිරියේදී මීට වඩා අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ගෝඨාභය රාජපක්‍ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස