රවී විදුලි පාරිභෝගිකයන්ගේ කෝටි 1450කට විදින්න හදනවා! පාර්ලිමේන්තුවේ සහාය දීලා ගමට නම් එන්න එපා! – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය

August 2, 2019 at 10:12 pm | by emanisa.lk

මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ රු. කෝටි 1450ක තැන්පත් මුදලක අයිතිය එම ජනතාවට අහිමි වන ආකාරයට විදුලිබල පනත සංශෝධනය කිරීමට සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ඊයේ (01 දා) පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“ගෙදරට හෝ ආයතනයකට විදුලිය ලබා ගැනීමේදී අපි හැමෝම ඇප තැන්පතුවක්‌ තබනවා. ශ්‍රී ලංකාවේ දැනට විදුලිය පාරිභෝගිකයන් හයලක්‌ෂ පනස්‌දහසකට වඩා ඉන්නවා. ඒ අනුව එම තැන්පතු මුදල කෝටි 1450 ක්‌ බව නිල ලේඛනවල සඳහන් වෙනවා. 2009 සිට දැනට ක්‍රියාත්මක විදුලිබල පනතට අනුව මෙම තැන්පතු මුදලට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කරන පොලියක්‌ විදුලිබල මණ්‌ඩලයෙන් විදුලි පාරිභෝගිකයන්ට ගෙවිය යුතුයි. 2018 වසරේදී 11.5% ක පොලියක්‌ විදුලි පාරිභෝගිකයන්ට ගෙවන්න කියලා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්‌ඩලයට නිර්දේශ කර තියනවා. නමුත් ශ්‍රී ලංකාවේ කිසිම විදුලි පාරිභෝගිකයකුට ඒ පොලිය ලැබුණේ නෑ. මේ මුදල්වලට මොකද කළේ කියලා වහාම රටට හෙළිකළ යුතුයි.

දැන් හදන්නේ මේ තැන්පතු මුදල සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන්ට ඇති අයිතිය අහෝසි වන ලෙස විදුලිබල පනත සංශෝධනය කරන්නයි. ඒ යෝජනාව 06 වැනිදා පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. එය දැන් පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කරලා. අපි කියනවා මේකට අත උස්‌සන මැති ඇමැතිවරුන්ට ගමට එන්න එපා කියලා. අපි ගමින් ගමට ගිහින් ඒ මැති ඇමැතිවරුන් ගැන දැනුවත් කරනවා.

ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම විදුලි පාරිභෝගිකයා සුරකින්න තියෙන ස්‌වාධීන ආයතනයක්‌. නමුත් මෙහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට ළඟදී පත්කළ නීතිඥයා ගැන නම් අපේ පැහැදීමක්‌ නෑ. ඔහු මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එරෙහිව නඩු කියන පාර්ශ්වයක්‌ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙක්‌. මේක හරියට නරියාට කුකුළන් භාර දුන්නා වගේ වැඩක්‌. මේ ගැන වහාම සොයා බලන්න කියා අපි ආණ්‌ඩුවට කියනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස