මුහුදු මහ විහාරයේ මැනුම් කටයුතුවලට බදියුදීන්ගේ පක්ෂයෙන් බාධා! මැනලා අවසන් වනතුරු පන්සලේ සංවර්ධන කටයුතුවලට අධිකරණයෙන් තහනමක්!

June 23, 2020 at 12:39 pm | by emanisa.lk

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස පොතුවිල් මහෙස්ත්‍රාත් මොහෝමඩ් රාෆි දෙපාර්ශවයටම අද (22) නියෝග කළේය.

පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් වලට අයිතිවාසිකම් කියන එක් පුද්ගලයකු විසින් මෝසමක් මාර්ගයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

අධිකරණ නියෝග මත පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අම්පාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම්වල මැණුම් කටයුතු මෙතෙක් අවසන්ව නැති බව දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

පොතුවිල් මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් කරුණු අනාරණය වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨභය රාපක්ෂ  සහ අගමැති මහින්ද රාජපක්ෂ විසින් මෙම ඉඩම් ගැටළුව නිරකරණය කරන ලෙසට අදාල අංශවල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීමෙන් අනතුරුව පසුගිය 18 සහ 19 යන දිනයන්වල  මුහුදු මහා විහාරයේ මැනුම් කටයුතු කිරීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව උත්සහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මුහුදු මහා විහාරයට අයත් බව කියන ඉඩම් සම්බන්ධයෙන් විහාරස්ථානය හා එම ඉඩම් වලට අයිතිවාසිකම් කියන පුද්ගලයින් 13 දෙනෙකු අතර නඩු කටයුත්තක් පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරේ.

එම ඉඩම් සම්බන්ධයෙන් මැණුම් කටයුතු සිදුකිරීමේදී ඇතිවු තත්වයෙන් අනතුරුව පොතුවිල් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව මෝසමක් මඟින් කැඳවනු ලැබු අවස්ථාවේදී අම්පාර පුරා විද්‍යා අධ්‍යක්ෂවරයාට අද (22) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට කර තිබු නියෝගයකට අනුව අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඒ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අමතමින් මෙම ඉඩම්වල මැනුම්කටයුතු අවසන් කර ඇත්නම් එහි අවසන් වාර්තාව ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී අම්පාර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණය අමතමින් මෙතෙක් එම මැනූම් කටයුතු අවසන්වී නැතැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා මුහුදු මහා විහාරයට අයත් ඉඩම් සම්බන්ධයෙන් පුරා විද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ අවසන් මැණුම් වාර්තාව ලැබෙනතුරු කිසිඳු සංවර්ධන කටයුත්තක් නොකරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.

මෙම පැමිණිල්ල ලබන අගොස්තු මස 05 වැනිදා කැඳවීමට නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස