මගේ රීති ප‍්‍රශ්නෙට කථානායක උත්තර දුන්නේ නෑ! ලේකම් කාර්යාලෙත් ගොට්ට ඇල්ලුවා! – කිරිඇල්ලගෙන් චෝදනා

September 10, 2020 at 8:51 am | by emanisa.lk

පේ‍්‍රමලාල් ජයසේකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට පැමිණි අවස්ථාවේදී තමන් විසින් නඟන ලද රීති ප‍්‍රශ්නය කථානායකවරයා නොසලකා හැරිය බවට විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ (09) චෝදනා කළේය.

ලේකම් කාර්යාලයද ඊට හොඳට  ගොටුව ඇල්ලූ බවත් මූලාසනය විසින් තම රීති ප‍්‍රශ්නය සඳහා අවසර ලබා දුන්නේ මන්ත‍්‍රීවරයා දිවුරුම් දීමෙන් පසුව බවත් කිරිඇල්ල කීය.

මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දීම වැදගත් ගෞරවණීය අවස්ථාවක් බවත් එවැනි අවස්ථාවක රීති ප‍්‍රශ්නයක් නැගීම යුතු නැති කාර්යක් බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන එහිදී ප‍්‍රකාශ කළේය.

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල – පේ‍්‍රමලාල් ජයසේකර මහතා දිවුරුම් දෙන අවස්ථාවේ මම රීති ප‍්‍රශ්නයක් නැගුවා. එය මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවේ. කථානායකවරයා එහිදී මං නැගූ ප‍්‍රශ්නය දිහා බැලූවේ නැහැ. ලේකම් කාර්යාලයත් ඊට හොඳට ගොට්ට ඇල්ලූවම විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක රීති ප‍්‍රශ්නයක් නැගුවම එයට ඉඩදිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය එයයි.

කථානායක: ඔබතුමාට අවස්ථාව දුන්නනේ?

කිරිඇල්ල: දිවුරුම් දුන්නට පසුවයි දුන්නේ.

කථානායක: මන්ත‍්‍රීවරයකු පැමිණ දිවුරුම් දෙන අවස්ථාව වැදගත් ගෞරවණීය අවස්ථාවක්. ඒ වෙලාවේදී වෙනත් ප‍්‍රශ්න මතුකිරීම යුතුකමක් නොවේ.

කිරිඇල්ල: වෙනත් ප‍්‍රශ්නයක් නොවේ මං නැගුවේ රීති ප‍්‍ර‍්‍රශ්නයක්.

කථානායක: මන්ත‍්‍රීවරයකු දිවුරුම් දීම සම්බන්ධව නැගිය හැකි රීති ප‍්‍රශ්නය කුමක්ද?

එස්. එම්. මරික්කාර්: ඔබතුමාට දැන් තිබෙන පීඩනය අපට තේරෙනවා. ඊට යටත් නොවී ස්වාධීන කථානායකවරයකු වෙන්න. ආණ්ඩුවට සිටින මන්ත‍්‍රීවරුන් 148 දෙනා විතරක් නොවේ. මන්ත‍්‍රීවරුන් 225 දෙනාම ඔබට අයිතියි.

සභානායක දිනේෂ් ගුණවර්ධන:  ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේවත් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේවත් මන්ත‍්‍රීවරයකු දිවුරුම් දෙන වෙලාවේ ඊට විරුද්ධ වන සම්ප‍්‍රදායක් නැහැ. හිටපු සභානායකවරයාට මම ඒ බව මතක් කර දෙන්න කැමතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස