ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව ගෙදර යවා ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලසුමක් ගොඩනඟනවා! – ආචාර්ය නාලක ගොඩහේවා

July 30, 2019 at 8:28 pm | by emanisa.lk

2014 වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය 7.3%ක් වූ අතර ඊළඟ වසර පහේ ආර්ථික වර්ධන වේගය 8%ක් වේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කළ බවත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එය අද වන විට 3% දක්වා ඇද වැටුණු බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

වියත්මග සංවිධානය මගින් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේ (27) ‘රට සහ හෙට’ පැවත් වූ සමුළුවට එක් වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා සභාපතිත්වය දරන වියත්මග සම්මන්ත්‍රණ රටපුරා පවත්වන්නේ දැඩි බාධා මධ්‍යයේයි. නමුත් ඒ බාධා මධ්‍යයේ දැනුම පිපාසයෙන් සිටින ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනවා. මේ රට අද තිබෙන්නේ දැඩි ව්‍යාකූල තත්ත්වයකයි. රටේ නායකත්ව අර්බුදයක් තිබෙනවා. 2009 දී තිස් වසරක් තිස්සේ තිබූ යුද්ධය අවසන් කළා. 2014 වසර වන විට අප රට මුළු ලෝකයේ අවධානයට ලක් වූ රටක්ව තිබුණා.

නමුත් අවාසනාවකට අද අප රටේ යථාර්ථය එදාට වඩා වෙනස්. 2014 දී ආර්ථික සංවර්ධන වේගය තිබුණේ සියයට 7.3 යි. ඒ වෙලාවේ මහ බැංකුව පුරෝකථනය කළා ඉතිරි වසර පහ ඇතුළත සියයට 8 ක පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා කියලා. ඒ ආකාරයට ගියා නම් මේ වන විට ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 127 ක ආර්ථිකයක් විය යුතුව තිබුණා. නමුත් යථාර්තය එහෙම වුණේ නැහැ. බලපෙරළියෙන් පසුව වසරින් වසර ආර්ථික සංවර්ධන වේගය කඩාවැටුණා. දැන් සියයට 3ක ආර්ථික සංවර්ධන වේගයක් තිබෙන්නෙ.

මේ රජය බලයට ගෙනාවේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. නමුත් බලයට ගෙනාවේ රටක් පාලනය කළ හැකි පාලකයන් නෙමෙයි. අවශ්‍ය වුණේ මහින්ද රාජපක්‍ෂ රජය පලවා හැරීම පමණයි. ඔවුන්ට කිසි සැලැස්මක් නැහැ. ඔවුන් අවධානය යොමු කළේ මේ වසර පහ වගේම ඊළඟ වසර පහත් බලයේ ඉන්නයි.

දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කළා. එහි ප්‍රතිඵලයක් රට දුර්වල වුණා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වුණා. රාජ්‍ය නිලධාරීන් තීරණ ගැනීමෙන් වැළකුණා. මේ රාජ්‍ය සේවයෙන් කිසි වැඩක් කර ගන්නේ බැරි ඒ නිසයි. වත්මන් රජය බලයට ඒමට මූලික තේමා පාඨය කර ගත්තේ මහින්ද රාජපක්‍ෂ රජයේ දූෂණයයි. එම රජය අතිශයින් දූෂිතයි කියා රටේ මතයක් ඇති කළා. ජනතාව ඒවා පිළිගත්තා. ලැම්බෝගිනි, ඩුබායි ගිණුම්, රත්තරන් අශ්වයන් ගැන කතා කළා. ඒ දූෂණය යහපාලන රජය නැති කරනවා කියා බලයට ආවා.

නමුත් මේ අයගේ දූෂණය වෙනස්. යහපාලනර රජය හොරකම් කළේ එළිපිට නෙමෙයි. සුදු කරපටි හොරකම් තමයි කළේ. දින 50 ක් ඇතුළත බැඳුම්කර හොරකම සිදුකළා. ඉතාමත්ම සංකීර්ණව සිදුකළ හොරකමක්. රටේ සාමාන්‍ය ජනතාවට ඒවා තේරුම් ගන්න බැහැ. පළමු හොරකම කෝටි 2000 යි.

ඒ වගේම විදේශීය ශ්‍රමිකයන්ට ඩොලර් 60 ක් පමණයි රක්‍ෂණ ගාස්තු වශයෙන් මේ රජයට බලයට ඒමට පෙර තිබුණේ. එම රක්‍ෂණය ආයතන තුනකින් ලබා ගැනීමට තිබූ රක්‍ෂණය එක ආයතනයක් බවට පත් කරගෙන ඩොලර් 100 ක් දක්වා වැඩි කරලා ඩොලර් 40 ක් අහිංසක විදේශීය ශ්‍රමිකයන්ගෙන් ගසාකෑවා. මහපොළ ව්‍යාපෘතියෙන් හොරකම් කළා. අයවැයත් භාවිත කළා හොරකම් කරන්න. මෙවැනි සුදු කරපටි හොරකම් තවත් විශාල ප්‍රමාණයක් තිබෙනවා.

මාර්තු මස විදුලි අර්බුදයක් ආවා. දිනකට පැය කිහිපයක් විදුලිය කප්පාදු කළා. තුර්කි නැවක් ගෙනැත් විදුලි අර්බුදයට විසඳුමක් දුන්නා. මේක පිටුපස මහා මාෆියාවක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය සමයේ විදුලි කප්පාදුවක් තිබුණද? හිටපු රජය කෙරළවලපිටිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ බලාගාර හැදුවා. 2015 න් පසුව තිබූ සියලුම විදුලි බලාගාර සැලසුම් අවලංගු කළා. ඒ අවලංගු කිරීම තුළින් හොරකම් කළා. විදුලි අවශ්‍යතාවට අනුව විදුලිය මිලදී ගත්තා. හදිසි විදුලිය ගත්තේ ටෙන්ඩර් නැතිවයි. 2019 මෙගාවොට් 720ක් මිලදී ගන්න අවශ්‍යයි. දැන් ආණ්ඩුව දෙගුණයක් ගෙවලා විදුලිය මිලදී ගන්නවා. එහි වන්දි ගෙවන්නෙ කවුද? මේ රටේ ජනතාවයි.

මේ ආණ්ඩුව ගැන දේශීය විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසක් නැහැ. රටේ ආර්ථිකයේ කැඩපත කොටස් වෙළෙඳපොළයි. ආයෝජකයන්ගේ විශ්වාසය තිබෙන්නේ කොටස් වෙළෙඳපොළ ඉහළ යෑම තුළින් පමණයි. මේ රජය කොටස් වෙළෙඳ පොළ පහළට දැම්මා. මහින්ද රාජපක්‍ෂ රජය තුළ කොටස් වෙළෙඳපොළ ඉහළට ගියා. මේ රජය පසුගිය රජයේ ණය ගැන කතා කරනවා. රාජපක්‍ෂ යුගයේ ණය අරන් රටට වැඩක් කළා. යුද්ධය අවසන් කළා. රට සංවර්ධනය කළා. වරාය, ගුවන් තොටුපළ, විදුලි බලාගාර ඇතුළු සංවර්ධනයක් රටේ ඇති වුණා. ඒ කළ දේවල් ඇහැට පේන්න තිබෙනවා. 2005 දී රටේ සමස්ත ණය තිබුණේ රුපියල් බිලියන 2200 යි. වසර නමයක් තුළ රුපියල් බිලියන 5900 ක් ණයට අර ගත්තා. නමුත් 2014 සිට 2018 වසර අවසානය දක්වා රුපියල් බිලියන 6600 ක් ණයට අරන් තිබෙනවා. නමුත් කළ සංවර්ධනයක් තිබෙනවාද? ණයබර වැඩි කරනවාට සමානව ජනතාවගෙන් බදු අය කරනවා.

ඇවන්ගාඞ් ආයතනයෙන් රටට පාඩුවක් නැහැ. එහෙම වුණා නම් කියන්නේ කුහකකම නිසයි. ඇවන්ගාඞ් කියන්නේ සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයන් මෙල්ල කිරීමට ඇති කළ ව්‍යාපාරයක්. නෞකාවල ආරක්‍ෂාවට තිබූ අවි ආයුධ තබා ගැනීම තුළින් කෝටි ගණනක් රටට ආවා. විශ්‍රාමික ආරක්‍ෂක අංශවල සාමාජිකයන් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමිවුණා. අපේ රටේ ව්‍යාපාර විනාශ කළා. එහෙම කරන විට රටක් විදිහට ඉදිරියට යන්නෙ කොහොමද? දැන් කසළ ගොඩක් ගැන කතා වෙනවා. ඒක වුණේ 2012 කියලා සමහරු කියනවා. වගකීම ගත යුත්තේ අදාළ සමාගමයි. නීතියෙන් බේරිලා කටයුතු කරන්න බැහැ. නමුත් මේ අය කරන වැරදි පිටපටවන්නේ පසුගිය රජයටයි. මේ රජයේ බැරිකම වසා ගන්නේ පසුගිය ආණ්ඩුවට චෝදනා කරලයි.

යුද්ධය අවසන් කිරීමෙන් පසු අපි ආඩම්බරයෙන් ජීවත් වුණා. දැන් අපේ රට ගැන ආඩම්බරයක් නැහැ. පාලකයන් විදේශීය නායකයන්ගේ වහල්ලු බවට පත්වෙලා. යමක් ලැබෙනවා නම් ඕනෑම රටක් ඉදිරියේ දණගහන්න සූදානම්. මේ දීනත්වය නිසයි අපේ රට විදේශීය රටවල්වලට යටත් වෙන්න යන්නේ. සල්ලි දෙනවා නම් අම්මා අප්පා හරි විකුණනවා. අද අපි ඇමරිකාවේ වහලෙක් බවට පත්වෙලා. මීට පෙර ඇමරිකාව අප රට ගැන හොයා බැලුවේ නැහැ. දැන් මේ අත්සන් කිරීමට යන ගිවිසුම්වලට රටට අත්වන ඉරණම භයානකයි.

අපිට මීට පෙර තිබුණා නිවැරදි රජයක්. අපි මේ යථාර්ථය ගැන දිගින් දිගටම කතා කළ යුතු නැහැ. මේ ආණ්ඩුව වෙනස් කළ යුතුයි. ආණ්ඩුව වෙනස් කරලා ජනතාවට අවශ්‍ය ජීවත් විය හැකි පරිසරයක් බිහි කළ යුතුයි. රටේ ජීවත්වන සෑම පුරවැසියෙක්ටම ජීවත් විය හැකි සුරක්‍ෂිත පරිසරයක්, අනාගතයක්, ආදායමක් සකස් කළ යුතුයි. ඉදිරි රජයක් තුළින් ජනතා කේන්ද්‍රීය ආර්ථික සැලැස්මක් නිර්මාණය කරනවා. එවැනි දක්‍ෂ නායකත්වයකට රට භාරදීමට සියලුම දෙනා ඒකරාශී විය යුතු කාලය එළැඹ තිබෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස