ආරක්ෂක ලේකම් සහ පොලිස්පති සහරාන්ගේ පඩි ලැයිස්තුවේ හිටියාද බලනවා! – නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස්

September 7, 2019 at 12:13 pm | by emanisa.lk

2016 වසරේ සිට පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා සහරාන් සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ බුද්ධි අංශ වාර්තා 347ක් ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වෙත යවා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී හෙළි වී ඇත්තේ eyes only යනුවෙන් සඳහන් විශේෂ අවධානය දැක්විය යුතු වාර්තා 228ක් ඊට අයත් බවය. මෙම වාර්තාවලින් 131ක් පොලිස්පතිට ද ආරක්ෂක ලේකම්ට වාර්තා 97ක් ද යොමු කර ඇත.

ඇප මත නිදහස් වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ සහ පොලිස්පති පූජිත ජයසූන්දරගේ ඇප අයඳුම් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ඉදිරිපත් කළ පෙත්සම කොළඹ අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේ මෙම කරුණු හෙළිවිය.

මෙම ප්‍රහාරය පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා ද කරුණු දැන සිටිය ද අප්‍රේල් 09 වෙනිදා පැවති බුද්ධි අංශ රැස්වීමේ දී ද ඒ පිළිබඳ කිසිවක් සාකච්ඡා කර නොමැත.

එහිදී පාස්කු මහා ජන ඝාතනය සිදුකිරිම සඳහා සහරාන් හෂීම් සිදුකළ කුමන්ත්‍රණයේ පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද කොටස්කරුවන් වී ඇතැයි චෝදනා කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් ඔවුන් දෙදෙනා සහරාන් හෂීම්ගේ පඩි ලැයිස්තුවේ ඇතුළත්ව සිටියේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදු කෙරෙන බවද පැවසීය.

පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අසම්මත, අවිධිමත් නියෝගයක් බවට බරපතල විවේචනයක් පවතින බව හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස